16. රාහුල ථේරාපදානය
68. “මම ලෝක ජ්යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්බුමු පහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.
69. “දෙපා ඇතියනට අග්රවූ, මහා මුනිවූ, ශ්රේෂඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලදුයේ, ගඳකිළියට එළඹි සේක.
70. “දෙවියන්ට දෙවිවූ, නර ශ්රේෂඨවූ, ශාස්තෘතෙම ගඳකිළිය බබුළුවන්නේ, බික් සඟන මැද සිටියේ, මෙම ගාථාවන් වදාළ සේක.
71. “යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලදද, කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනවින් අතුරණ ලදද, මම හේ (කවරෙක්දැයි) ප්රකාශ කරන්නෙමි. (එසේ) ප්රකාශ කරන්නාවූ මාගේ වචනය අසව්.
72. “ස්වර්ණමයවූද, රජතමයවූද, යලි වෙරළුමිණිමුවාවූද, යම්කිසි සිතට ප්රිය ආදාසයෝ වෙත් නම් (ඒවා) පහළ වන්නාහුය.
73. “සූසැට වරක් ශක්රව දිව්ය රාජ්යය කරන්නේය. අනතුරුව දහස් වරක් සක්විති රජ වන්නේය.
74. “එක්විසිවන කපෙහි සිව්මහ සයුර හා සිව්මහ දිවයින කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූයේ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, විමල නම් සක්විති රජෙක් වන්නේය.
75. “ගඩොලුවලින් නිර්මිත කරණ ලද නගරය රේනුවතී නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස් හැඩයෙන් යුක්ත වෙයි.
76. “(එහි) උතුම්වූ කුලුගෙවලින් යුත්, සත්රුවනින් අලංකාර කරණ ලද, විශ්වකර්මයා විසින් නිර්මිත කරණ ලද, සුදර්ශන නම් ප්රාසාදයක් විය.
77. “(එය) දශවිධ ශබ්දයෙන් වෙන්නොවූ, විද්යාධරයන්ගෙන් ගැවසීගත්, දෙවියන්ගේ සුදර්ශන නගරය මෙන් වන්නේය.
78. “එම ප්රාසාදයාගේ ප්රභාව හිරු උදාවන කල්හි විහිදේ. එය නිරතුරුවම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේය.
79. “කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
80. “හෙතෙම කුශල මූලයන් මෙහෙයන ලදුයේ, තුෂිත පුරයෙන් චුතව, ගෞතමයන් වහන්සේගේ ඒ ඖරස පුත්රයා වන්නේය.
81. “හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම් සක්විති රජ වන්නේයි. තාදී ගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණෙයි යන මේ කරුණ සිදුනොවන්නකි. (හෙවත් සිදුවීමට කරුණ නැත්තකි.)
82. “සුශික්ෂිතවූ (හෙතෙම) ගිහිගෙන් නික්ම නම්න් ඒ රාහුල නම්වූ රහත් තෙම වන්නේයයි වදාළ සේක.
83. “මහාමුනිවූ ගෞතම බුදුරජාණන් වහන්ස, කිරල් ධෙනුව බිජුවට රකින්නාක් මෙන්ද, සෙමරමුවා වලිගය රකින්නාක් මෙන්ද, සීලය රකින්නේය. ශීලයෙන් යුක්තවු මම (මැනවින් ශීලය) ආරක්ෂා කෙළෙමි.
84. “මම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන, සසුනෙහි ඇළුනේ වෙසෙමි. සියලු ආශ්රවයන් ප්රහාණ පරිඥා වශයෙන් දැන, හැරදමා, ආශ්රව රහිතව වෙසෙමි.
85. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
රාහුලත්ථෙරස්සාපදානං ඡට්ඨං.
17. උපසෙන ථේරාපදානය
86. “පර්වත පබ්හාරයක වැඩ හුන්නාවූ, මනුෂ්යොත්තමවූ, ලොක ජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ, (මම) ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත එළඹීමි.
87. “එකල්හි මම මැවින් පිපුණු කිණිහිරි මලක් දැක, නටුවෙන් කඩාගෙන, ඒ මලින් ඡත්රය අලංකාරකොට, බුදුරජාණන් වහන්සේට ඒ ඡත්රය නැගීමි.
88. “සුන්දර භෝජන නම්වූ, උතුම් ආහාරයවූ, පිණ්ඩපාතයද දුනිමි. එහි බුදුරජාණන් වහන්සේ නවවෙනිකොට ඇති ශ්රමණයන් අටනමක් වැළඳවීමි.
89. “සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්ර පුද්ගලවූ, මහාවීරවූ (පදුමුත්තර) බුදුරජතෙම අනුමෝදනාව කෙළේය. මෙම ඡත්ර දානයද, උතුම් ආහාර දානයද (දුනිමි).
90. “(එම දානය) හේතුකොටගෙන (ඇතිවූ) එම චිත්ත ප්රසාදයෙන් සම්පත් අනුභව කරන්නේය. සතිස් වරක් ශක්රව දිව්ය රාජ්යය කරන්නේය.
91. “එක් විසි වරක් සක්විති රජ වන්නේය. මහත්වූ ප්රදේශ රාජ්යය කරණ (වාර ගණන) සංඛ්යා පථාතික්රාන්තයි.
92. “මින් කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, ගොත්රයෙන් ගෞතම නම්වූ, ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
93. “(උන්වහන්සේගේ) සසුන බබලවන කල්හි මිනිසත් බවට පැමිණෙන්නේය. උන්වහන්සේගේ ධර්මයෙහි දායාදවූයේ, ඖරස බුද්ධපුත්රවූයේ, ධර්මයෙන්ම නිර්මිත කළාක් වැනිවූ, නම්න් උපසේන නම්වූ, බුද්ධ ශ්රාවකයෙක් වන්නේයයි වදාළ සේක.
95. “(මෙය) මාගේ අන්තිම ආත්මය වන්නේය. සියළු භවයෝ සමූහනනය කරණ ලදහ. සේනා සහිතවූ මාරයා ජයගෙන අන්තිම ශරීරය දරමි.
96. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපසේන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උපසෙනවඞ්ගන්තපුත්තත්ථෙරස්සාපදානං සත්තමං.
තෙවැනි බණවරයි.