167. යූථිකා පුප්පිය ථේරාපදානය
33. “මම චන්‍ද්‍රභාගා ගංතෙර පහළ ගමන් කරමින් එහිදීි පිපුණු සල් රුකක් වැනි බුදුරජුන් දිටිමි.
34. “මම සීනිද්ද මලක් ගෙන මහා මුනිවූ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෝ සොම්නස්වුයේ (එය) බුදුරජුන්හට පිදීමි.
35. “මින් සිව්අනූවන කපෙහි යම් බුද්ධ පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
36. “මින් සත් සැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සමුධර නම් සක්විති රජෙක් වීමි.
37. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකා පුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
යූථිකපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.
168. දුස්සදායක ථේරාපදානය
38. “මම එකල්හි රම්‍යවූ තිවරා නගරයෙහි රාජ පුත්‍රයෙක් වීමි. පඬුරක් ලැබ උපශාන්තවූ බුදුරජුන්ට පිදීමි.
39. “භාග්‍යවත් තෙම එම පඬුර (වස්ත්‍රය) ඉවසූහ. වස්ත්‍රය අතින් පිරිමැද්දහ. සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවත් තෙම එය ඉවසා අහසට නැගුනහ.
40. “බුදුරජුන් (අහසෙහි) වඩින කල්හි වස්ත්‍රය පසු පසින් දුවයි. එහිදී බුදුරජතෙම අපගේ අග්‍ර පුද්ගලයන් වහන්සේයයි සිත පැහැදවිමි.
41. “මින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්‍රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
42. “මින් සත් සැටවන කපෙහිවූ එකල්හි මහත් බල ඇති මනුජෙන්‍ද්‍රවූ පරිශුද්ධ නම් සක්විති රජෙක් වීමි.
43. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුස්සදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
දුස්සදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
169. සමාදපක ථේරාපදානය
44. “මන්ධුමතී නගරයෙහි මහත් උවසු සමුහයක් වුහ. ඔවුහු මාගේ අනුගාමිකයෝ වූහ. මම ඔවුනට ප්‍රධානවීමි.
45. “ඒ සියල්ලන් රැස්කරවා නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රවූ සංඝයාට (විසුමට) මාලයක් කරවන්නෙමුයයි පින්කමෙහි සමාදන් කරවීමි.
46. “මාගේ අදහස අනුව ගියාවූ ඔවුහු මැනවැයි පිළිවදන් දී එම මාලකය නිමවා විපස්සී බුදුරජුන්ට පිදීමි.