168. දුස්සදායක ථේරාපදානය
38. “මම එකල්හි රම්යවූ තිවරා නගරයෙහි රාජ පුත්රයෙක් වීමි. පඬුරක් ලැබ උපශාන්තවූ බුදුරජුන්ට පිදීමි.
39. “භාග්යවත් තෙම එම පඬුර (වස්ත්රය) ඉවසූහ. වස්ත්රය අතින් පිරිමැද්දහ. සිද්ධාර්ත්ථ භාග්යවත් තෙම එය ඉවසා අහසට නැගුනහ.
40. “බුදුරජුන් (අහසෙහි) වඩින කල්හි වස්ත්රය පසු පසින් දුවයි. එහිදී බුදුරජතෙම අපගේ අග්ර පුද්ගලයන් වහන්සේයයි සිත පැහැදවිමි.
41. “මින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වස්ත්ර දානයාගේ මේ විපාකයයි.
42. “මින් සත් සැටවන කපෙහිවූ එකල්හි මහත් බල ඇති මනුජෙන්ද්රවූ පරිශුද්ධ නම් සක්විති රජෙක් වීමි.
43. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුස්සදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
දුස්සදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
169. සමාදපක ථේරාපදානය
44. “මන්ධුමතී නගරයෙහි මහත් උවසු සමුහයක් වුහ. ඔවුහු මාගේ අනුගාමිකයෝ වූහ. මම ඔවුනට ප්රධානවීමි.
45. “ඒ සියල්ලන් රැස්කරවා නිරුත්තර පුණ්යක්ෂෙත්රවූ සංඝයාට (විසුමට) මාලයක් කරවන්නෙමුයයි පින්කමෙහි සමාදන් කරවීමි.
46. “මාගේ අදහස අනුව ගියාවූ ඔවුහු මැනවැයි පිළිවදන් දී එම මාලකය නිමවා විපස්සී බුදුරජුන්ට පිදීමි.
47. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් මාලකයක් (වාස ගෘහයක්) දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මාලක දානයාගේ මේ විපාකයයි.
48. “එකුන් සැටවන කපෙහි මහත් බල ඇති ජනාධිපතිවූ ආදෙය්ය නම් වූ සක්විති රජෙක් වීමි.
49. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සමාදපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සමාදපකත්ථෙරස්සාපදානං නවමං.
170. පඤ්චඞ්ගුලිය ථේරාපදානය
50. “ලෝකජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ තිස්ස නම් භාග්යවත් තෙමේ විය. ශ්රේෂ්ඨ විහරණයෙහි දක්ෂවූ ගඳකිළියට පිවිසෙන සර්වඥයන් වහන්සේ දුටුවෙමි.
51. “සුවඳ මල් ගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ගියෙමි. නිශ්ශබ්දවම බුදුරජුන් කෙරෙහි පසඟුල් දුනිමි.
52. “මින් දෙඅනූවන කපෙහි යම් සුගන්ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පසඟුල් දීමෙහි මේ විපාකයයි.
53. “මින් දෙසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සයම්බ නම් සක්විති රජෙක් වීමි.
54. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පඤ්චඞ්ගුලියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
සුපාරිචාරී ද, කණවෙරී ද, ඛජ්ජක ද, දෙසපූජක ද, කණිකාර ද, සප්පිදද ද, යූථික ද, දුස්සදායක ද, මාල ද, පඤ්චඞ්ගුලික ද යන මෙහි ගාථා පනස් හතරකි.
සුපාරිචරියවග්ගො සත්තරසමො.
18. කුමුද වග්ග
171. කුමුදමාලිය ථේරාපදානය
2104. “හිමවත් පව්වෙහි මහත්වූ ස්වයංජාත විලක් විය. (මම) එහි හටගත් ඝෝර ස්වරූප ඇති මහා බලවත් රකුසෙක් වීමි.
2105. “එම විලෙහි කුමුදු මල් පිපේ. (ඒවා) රියසක් පමණව හටගනී. එම මල් නෙලමි. එකල්හි බලවත්වූ බුදුරජුන්ගේ එක්වීම විය.