157. තිණසුලක ථේරාපදානය
“හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්වතයක් විය. එහි සියල්ල තෙමේම දැන ගත් ලොව හා නොගැටුණු එක් (සිඛී නම්) සර්වඥවරයෙක් වැඩ වෙසෙති.
“බෝලිද්ද මල් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි. (ඒ හේතුවෙන්) එකුන් සියක් දහස් කපක් මුලුල්ලෙහි දුගතියකට නොගියේ වෙමි.
“මින් එකොලොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධරණීරුහ නම් එක් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසුලක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණසූලකත්ථෙරස්සාපදානං සත්තමං.
158. නාගපුප්ඵිය ථේරාපදානය
“මන්ත්රයන්හි පරතෙරෙට ගිය නාමයෙන් සවච්ඡ නම්වූ බමුණෙක් ස්වකීය ශිෂ්යයන් සමග පර්වතාන්තරයෙහි වෙසෙයි.
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර නම් ඒ සර්වඥ තෙමේ මා (සසර සයුරින්) ගොඩනගනු කැමැත්තේ මා සමීපයට පැමිණිසේක.
“(පැමිණ) අහසෙහි සක්මන් කරයි. ධූම දමයි. එසේම බබළයි. (එසේකොට) මාගේ සතුට දැන ප්රාචීන දේශාභිමුඛව වැඩිසේක.
“විෂ්මයජනක, ලොමු දැහැගන්නාවූ එම ආශ්චර්ය්ය දැක නාමල් ගෙන, (වැඩම කළ) මගෙහි ඉසීමි.
“මින් සියක් දහස්වන කපෙහි මම යම් මල් විසිරවීමක් කෙළෙම්ද, එම චිත්ත ප්රසාදය කරණකොටගෙන මම දුගතියක නොඉපදුනෙමි.
“මින් එක්තිස් සියවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති මහාරථ නම් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නාගපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
159. පුන්නාගපුප්ඵිය ථේරාපදානය
“වැද්දෙකු වූ මම මහා වනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
“එම සුවඳ මල් නෙලා සුභවූ, සුවඳවත්වූ මල් වැල්ලෙහි සෑයක් කොට බුදුරදුන්හට පිදීමි.
“මින් දෙයානූවන කපෙහි මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“එක් අනූවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති තමොනුද නම් එක් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුන්නාගපුප්ඵියත්ථෙරස්ස අපදානං නවමං.
160. කුමුදදායක ථේරාපදානය
“හිමවතට නුදුරෙහි හෙල පියුම් හා උපුල්වලින් ගැවසීගත් රත් පියුමින් සම්පූර්ණවූ මහත්වූ ස්වයංජාත විලක් විය.
“එකල්හි එහි සිල්වත්වූ, බුද්ධිමත්වූ, කුසල් අකුසල් මේ මේ යයි දැනගැනීමෙහි දක්ෂවූ මම එහි කුකුත්ථක පක්ෂියෙක් වීමි.
“ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසුවූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනිවූ, මහාමුනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ (එම) ස්වයංජාත විලට නුදුරෙහි සක්මනෙහි යෙදුනු සේක.
“ජලයෙහි හටගන්නාවූ කුමුදු මලක් කඩා බුදුරජුන් වෙත ගෙන ගියෙමි. මහාමුනිවූ සර්වඥතෙමේ මාගේ අදහස දැන එය පිළිගත් සේක.
“එම දන දී කුශල මූලයෙන් මෙහෙයන ලද මම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.
“මින් එක් දහස් හය සියවන කපෙහි මහත් බල ඇති වරුණ නම් අට සක්විති රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුමුදදායකත්ථෙරස්ස අපදානං දසමං.