16. බන්ධු ජීවක වග්ග
151. බන්ධු ජීවක ථේරාපදානය
“(උපක්ලේශ විරහිත) චන්ද්රයා මෙන් නිර්මලවූ (කෙළෙස් කිළිටි නොමැති බැවින්) පිරිසිදුවූ, පැහැදුනාවූ, (කෙළෙස් මළ වලින්) නොකැළඹුනාවූ, (නන්දිභව නම්වූ) තෘෂ්ණාව හා භවය (පල විශේෂයෙන් හාත්පසින්ම) ක්ෂය කරණ ලද්දාවූ, ත්රිවිධ ලෝකයෙහි ඇල්ම නැතිකළ,
ජන සමූහයා කෙළෙස් ගිනි නිවන්නාවූ සසර සයුරින් එතෙරවූ, එසේ එතෙරවූවන් අතුරෙන් උතුම්වූ, වනයෙහි ධ්යාන කරන්නාවූ, ඒ එකලාවූ, සන්සුන්වූ (සිඛී බුදුරජුන් දුටිමි.)
“මම බඳුවද මල් නූලක එල්වා සිඛී බුදුරජාණන් වහන්සේට පිදීමි.
“මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කරණ ලදද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මින් සත්වන කපෙහි මනුජෙන්ද්රවූ, වැඩි දියුණුවූ යසස ඇති, මහා බලවත් සමන්තචක්ඛු නම් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බන්ධු ජීවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බන්ධුජීවකත්ථෙරස්ස අපදානං පඨමං.
152. තම්බ පුප්ඵික ථේරාපදානය
“අනුනට බැලමෙහෙ කිරීමෙහි යෙදුනේ මම අපරාධයක් කෙළෙමි. (ඒ හේතුවෙන්) භය ජනක අරමුණුවලින් තැතිගත්තේ වනයට පලා ගියෙමි.
“පොකුරු බැඳි, මනාව නිර්මිතව පිපුණු ගසක් දැක මම (එහි) තඹවන් මල්ගෙන බෝධියට ඉසිමි.
“ඒ උතුම් පලොල් බෝ නැමද එම බෝ මුලෙහි පළඟ බැඳ (එරමිනියා ගොතාගෙන) (වාඩිවී) හුනිමි.
“(අපරාධකොට) පලාගිය මග සොයා යන්නෝ මාගේ සමීපයට පැමිණියාහුය. මම ඔවුන් දැක උතුම් බෝධියම සිහිපත් කෙළෙමි.
“මම පිරිසිදු සිතින් බෝධිය වැඳ (නැවත පහව යන්නෝ) බොහෝ තල්රුක් පමණින් ගිනිය යුතුවූ (ගැඹුරු) භයානක ගිරි දුර්ගයෙක්හි වැටුනෙමි.
“මින් එක් අනූ වන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෝධි පූජාවෙහි මේ විපාකයයි.
“මින් තෙවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සම්ඵුසිත නම් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තම්බ පුප්ඵික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තම්බපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
153. විථිසම්මජ්ජක ථේරාපදානය
“උදාවන්නාවූ සූර්ය්යයා මෙන්ද, (උදාවූ) අතිශයින් දීප්ති රැස් ඇති හිරු මෙන්ද, පුණු රැස් සඳ මෙන්ද, නික්මෙන්නාවූ බුදුරජුන් දිටිමි.
“අට සැට දහසක්වු සියල්ලෝ ක්ෂීණාශ්රවයෝ වූහ. (ඔවුහු) විපදෝත්තමවූ, නරශ්රේෂ්ඨවූ බුදුරජුන් පිරිවැරූහ.
“බුදුරජුන් නික්මෙන කල්හි (මම) එම වීථිය හැමද එහි පිරිසිදු ධජයක් එසවීමි.
“මින් එක් අනූවන කපෙහි යම් ධජයක් පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධජ දානයාගේ මේ විපාකයයි.
“මින් සිව්වන කපෙහි සර්වාකාරයෙන් සම්පූර්ණවූ සුධජයයි ප්රසිද්ධ රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විථිසම්මජ්ජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වීථිසම්මජ්ජකත්ථෙරස්ස අපදානං තතියං.