160. කුමුදදායක ථේරාපදානය
“හිමවතට නුදුරෙහි හෙල පියුම් හා උපුල්වලින් ගැවසීගත් රත් පියුමින් සම්පූර්‍ණවූ මහත්වූ ස්වයංජාත විලක් විය.
“එකල්හි එහි සිල්වත්වූ, බුද්ධිමත්වූ, කුසල් අකුසල් මේ මේ යයි දැනගැනීමෙහි දක්‍ෂවූ මම එහි කුකුත්‍ථක පක්‍ෂියෙක් වීමි.
“ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසුවූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනිවූ, මහාමුනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ (එම) ස්වයංජාත විලට නුදුරෙහි සක්මනෙහි යෙදුනු සේක.
“ජලයෙහි හටගන්නාවූ කුමුදු මලක් කඩා බුදුරජුන් වෙත ගෙන ගියෙමි. මහාමුනිවූ සර්වඥතෙමේ මාගේ අදහස දැන එය පිළිගත් සේක.
“එම දන දී කුශල මූලයෙන් මෙහෙයන ලද මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.
“මින් එක් දහස් හය සියවන කපෙහි මහත් බල ඇති වරුණ නම් අට සක්විති රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුමුදදායකත්ථෙරස්ස අපදානං දසමං.
උද්දානය:
බන්ධුජීවක, තම්බපුප්ඵිය, වීථිසම්මජ්ජක, කක්කාරුපුප්ඵිය, මන්දාරව, කදම්බපුප්ඵිය, තිණසූලක, නාගපුප්ඵිය, පුන්නාග සහ කුමුදදායක යන තෙරවරුන්ගේ ගාථා පනස් හයක් මෙහි දක්වන ලදී.
බන්ධුජීවකවග්ගො සොළසමො.
17. සුපාරිචරිය වග්ග
161. සුපාරිචරිය ථේරාපදානය
1. “විපදෝත්තමවූ, පසැස් ඇති නම්න් පදුම නම් (පදුමුත්තර) සර්‍වඥ තෙමේ වැඩ වෙසෙන වෙහෙරින් නික්ම (අවුත්) දහම් දෙසූහ.
2. “බුදුරජුන් වැඩ (සිටි තැනට) නුදුරෙහි දේව සමාගමක් විය. එකෙණෙහි යම් කරුණකින් එහි පැමිණියෝ (බුදුරජුන්) දකිනු කැමැත්තෝ වූහ.
3. “අමෘත දේශකවූ බුදුරජුන්ගේ දෙසුම් හඬ දැන පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ, අත්පොළසන්දී එළඹියෙමි.
4. “ශාස්තෲන් වහන්සේ වෙත එළඹීම් වශයෙන් රැස්කළ පුණ්‍යකර්‍මයාගේ විපාකය බලනු මැනව. මම තිස් දහස් කපක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.
5. “දෙදහස් විසිනවවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමලඞ්කත නම් සක්විති රජෙක් වීමි.
6. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපාරිචරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුපාරිචරියත්ථෙරස්සාපදානං පඨමං.
162. කණවෙර පුප්ඵිය ථේරාපදානය
7. “ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සිද්‍ධාර්ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලදුයේ නගරයට පිළිපන් සේක.
8. “මම එකල්හි රජුගේ සම්මතවූ අන්තඃපුර පාලකයා වීමි. පහයෙහි හුන් මම (එම) ලෝකනායකයන් වහන්සේ දුටිමි.
9. “කණවෙර මල් ගෙන භික්‍ෂු සංඝයා කෙරෙහි ඉස්සෙමි. බුදුරජුන්හට වෙන්කොට ඉන් වඩාත් (එම මල්) විසිරවීමි.
10. “මින් සිව් අනුවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කරණ ලදද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
11. “මින් සත් අසුවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහිද්‍ධික නම් සිව් සක්විති රජ කෙනෙක් වූහ.
12. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණවෙර පුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කණවෙරපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.