126. කුසුමාසනිය ථේරාපදානය.
1830. ධඤ්ඤවතී නගරයෙහි මම එකල්හි නිඝණ්ඩු ශාස්ත්‍රය හා (කවීනට හිතවූ) කෙටුභය යන මේවා සහිත ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ඉතිහාසයෙහිද දක්‍ෂවූ බමුණෙක් වීමි.
1831. පදපාරමීප්‍රාප්තවූ, ව්‍යාකරණ දන්නාවූ, නිමිත්ත ශාස්ත්‍රයෙහි දක්‍ෂවූ, වේදත්‍රයෙහි පරතෙරට ගිය මම ශිෂ්‍යයන්ට මන්ත්‍ර වාචනා කළෙමි.
1832. මා විසින් උපුල් මිටි පහක් පුටුවක තබන ලදී. මම පියමව් සමාගමයෙහි (ඔවුන්) පුදනු කැමැත්තේ වීමි.
1833. එකල්හි නරශ්‍රේෂඨවූ විපස්සී බුදුරජ තෙම භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ සියලු දිගුන් බබුළුවමින් වඩින සේක.
1834. අසුනක් පණවා, ඒ මල් අතුරා, බුදුරජුන් පවරා සිය ගෙදොරට වැඩමවීමි.
1835. ස්වකීය ගෘහයෙහි මා විසින් පිළියෙල කරන ලද යම් ආහාරයක් ඇද්ද, පහන් සිතැත්තේ එය මම සියතින්ම බුදුරජුන්හට දුනිමි.
1836. එය වළඳා අවසන්වූ උන්වහන්සේට සුදුසු කළායි දැන මල් මිටක්ද දුනිමි. සර්‍වඥ තෙම අනුමෝදනා කොට උත්තරාභිමුඛව වැඩි සේක.
1837. මින් එකානූවන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප දානයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයෙහි මේ විපාකයයි.
1838. මින් අනතුරු කපෙහි (අනූවන) සත්රුවනින් යුත් මහත් බල ඇති වරදස්සන නම් සක්විති රජෙක් විය.
1839. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුසුමාසනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුසුමාසනියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
127. ඵලදායක ථේරාපදානය.
1840. වේද හදාරන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගිය මම හිමවතට නුදුරෙහි අසපුවක වසමි.
1841. මාගේ අග්නි පූජාවක් ඇත. මා විසින් පියුම් ගෙඩි මුළක බැඳ, ගසක් මුදුනෙහි එල්ලන ලදී.
1842. ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ ඒ පදුමුත්තර බුදුරජතෙම (මා) සසරින් ගොඩනගනු කැමැත්තේ, පිඬු පිණිස හැසිරෙමින් මා වෙත එළඹි සේක.
1843. මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, බුදුරජුන්හට එම ඵල දුනිමි. (එය) මාගේ ප්‍රීතිය ඇති කරන්නක් හා මෙලොවම සුව ගෙන දෙන්නක් විය.
1844. ස්වර්‍ණ වර්‍ණවූ, ආහුතීන් පිළිගන්නාවූ සම්බුදුරජ තෙමේ අහසෙහි සිටියේ මෙම ගාථාව වදාළ සේක.
1845. මෙම ඵල දානය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදී.
1846. එම කුශල මූලය කරණකොටගෙන සම්පත් අනුභවකොට ජය-පරාජය දෙක හැර, අචලස්ථානය (නිවණට) පැමිණියේ වෙමි.
1847. මින් කල්ප සත්සියයකට මත්තෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, සුමඞ්ගල නම් සක්විති රජෙක් වීමි.
1848. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඵලදායකත්ථෙරස්සාපදානං සත්තමං.
128. ඤාණසඤ්ඤක ථේරාපදානය.
1849. හිමවත් පව්වෙහි කඳු අතරක වෙසෙමි. ශෝභනවූ වැලි තලාවක් දැක, බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කළෙමි.
1850. නුවණෙහි (සැසඳීමට) උපමාවක් නැත. ශාස්තෲන් වහන්සේට සංග්‍රාමයකුදු නැත. සියලු ධර්‍මයන් නුවණින් දැන (දුකින්) මිදේ.
1851. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. උතුම් නුවණ යම්තාක්ද, (එතෙක්වූ) ඔබ වහන්සේගේ නුවණ හා සම කෙනෙක් නැත.
1852. බුද්‍ධඤාණයෙහි (සිත) පහදවා කපක් මුළුල්ලෙහි මම ස්වර්‍ගයෙහි සතුටුවීමි. සෙසු කල්පයන්හි මා විසින් කුශල් කරන ලදී.
1853. මින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඥාණ සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ ඥාන සංඥාවෙහි මේ ප්‍රථිඵලයයි.