122. පුප්ඵථූපිය ථේරාපදානය.
1776. හිමවතට නුදුරු තන්හි කුක්කුට නම් පර්‍වතයක් විය. එම පර්වතය අතුරෙහි මන්ත්‍රයන්හි පරතෙරෙට ගිය බ්‍රාහ්මණයෙක් විය.
1777. හැම කල්හි මා පන්දහසක් ශිෂ්‍යයෝ පිරිවරත්. ඔවුහු හැමට පළමු උදූසන නැගිටින සුළුවූ, මන්ත්‍රයන්හි විශාරදයෝද වූහ.
1778. එම ශිෂ්‍යයෝ මෙසේ කීහ. බුදුරජ තෙම ලොව පහළවිය. උන්වහන්සේ අසූවක් ව්‍යඤ්ජන ඇති සේක. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයක් ඇති සේක. එම ජිනෙන්‍ද්‍රයන් වහන්සේ හිරු මෙන් බබළන සේක.
1779. මන්ත්‍රයන්හි පරතෙරෙට ගිය බමුණු තෙමේ, ශිෂ්‍යයන්ගේ වචනය අසා, අසපුවෙන් නික්ම, ලොකනායකවූ මහා වීරයන් වහන්සේ යම් දිශාවක වැඩ වෙසෙන සේක් නම් ශිෂ්‍යයන්ගෙන් එම දිශාව විචාරයි.
1780. මම එම දිශාවටද අප්‍රති පුද්ගලවූ, පස් මරුන් දිනුවාවූ උන්වහන්සේටද නමස්කාර කරන්නෙමියි (සිතා) ඉක්බිති ඔද වැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ඒ තථාගතයන් පිදීමි.
1781. ශිෂ්‍යවරුනි, එව්. යන්නෙමු. ඒ තථාගතයන් දකින්නෙමු. ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ, බුද්ධ ධර්‍මය අසන්නෙමුය කියායි.
1782. නික්ම එක් දිනකින් මම රෝගී වීමි. රෝගයෙන් පෙළුනේ විසීම සඳහා ශාලාවකට ගියෙමි.
1783. සියළු ශිෂ්‍යයන් රැස් කරවා තථාගතයන් කෙබඳුද? පරම බුද්‍ධිමත් ලෝකනාථයන් වහන්සේගේ ගුණ කෙබඳුදැයි ඔවුන්ගෙන් විචාළෙමි.
1784. මා විසින් විචාරණ ලද ඔවුහු බුදුරජුන් දක්නා ලද අයුරින්ම විස්තර කළාහුය. මාගේ හමුයෙහි ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ මැනවින් (විස්තර) කොට දැක්වූහ.
1785. මම ඔවුන්ගේ එම වචනය අසා සිත පැහැදවීමි. මම එහි මල්වලින් සෑයක් කොට කළුරිය කෙළේ වෙමි.
1786. ඔවුහු මාගේ සිරුර දවා බුදුරජුන් සමීපයට ගියාහුය. ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කළාහුය.
1787. මම සුගතවූ, මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට මල්වලින් සෑයක් කොට කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනෙමි.
1788. කල්ප සතළිස් දහසකට මත්තෙහි අග්ගිසම නම් මහත් බල ඇති දහසය දෙනෙක් සක්විති රජවරු වූහ.
1789. විසිදහස්වන කපෙහි ඝතාසන නම්වූ පෘථිවීශ්වර අටතිස් රජ කෙනෙක් වූහ.
1790. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵථූපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුප්ඵථූපියත්ථෙරස්සාපදානං දුතියං.
123. පායාසදායක ථේරාපදානය.
1791. දෙතිස් මහ පුරිස් ලකුණින් යුත්, ස්වර්‍ණ වර්‍ණවූ, භික්‍ෂු සංඝයා පිරිවරා වනයෙන් නික්මුණාවූ සම්බුදුරජාණන් වහන්සේ (දුටිමි).
1792. මහ ලොහො තලියක කිරිබතක් බෙදාගෙන පූජා කරනු කැමැති මම එම පූජාව (බුදුරජුන් වෙත) එළඹවූවෙමි.
1793. ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ භාග්‍යවත් තෙමේ එකල්හි සුදු වතක් වැනිවූ අහසෙහි (මවන ලද) සක්මනට නැගුනේ වේ.
1794. විෂ්මය ජනකවූ, ලොමු දැහැගන්වන එම ආශ්චර්‍ය්‍යය දැක එම ලොහොතලිය (පසෙක) තබා විපස්සී බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි.
1795. දෙවියන් සහිත ලෝකයෙහි ඔබ සර්‍වඥ දෙවි වෙහිය. මහාමුනිවූ බුදුරජාණන් වහන්ස, අනුකම්පා උපදවා මෙය පිළිගනු මැනව.
1796. ලෝකයෙහි ශාස්තෘවූ, මහාමුනිවූ, ලෝකනායකවූ භාග්‍යවත් සර්‍වඥතෙමේ මාගේ අදහස දැන (එය) පිළිගත් සේක.