121. සෙරෙය්‍යක ථේරාපදානය.
1767. වේද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වේදත්‍රයෙහි පරතෙරෙට ගිය (මම) එලිමහන් තන්හි සිටියේ ශාන්තවූ ලෝකනායකයන් වහන්සේ දුටිමි.
1768. වනයෙහි හැසිරෙන්නාවූ සිංහයෙකු වැනිවූ, ව්‍යාඝ්‍රරාජයෙකු මෙන් තැති නොගන්නාවූ, තුන් තැනකින් මද හෙළන්නාවූ මාතංග හස්තිරාජයෙකු වැනිවූ මහර්ෂීන් වහන්සේ (දුටිමි).
1769. මම කටුකරඬු මල් ගෙන අහසෙහි විසි කළෙමි. බුදුරජුන්ගේ ආනුභාවයෙන් (එම මල් උන්වහන්සේ) හැම අතින් පිරිවරත්.
1770. මහා වීරවූ ලෝකනායක සර්වඥයන් වහන්සේ අදිටන් කළ සේක. (එම අදිටන් බලයෙන්) නරශ්‍රේෂ්ඨයන් වහන්සේට හාත්පස මල් වියනක් සේ විසිරුනාහ.
1771. ඉක්බිති නැටි උඩුකුරුවූ ඒ පුෂ්ප කඤ්චුකය (මල් වියන) සතියක් මුළුල්ලෙහි සෙවෙනියක් කොට යලි අතුරුදහන් විය.
1772. විෂ්මය ජනකවූ, ලොමු දැහැගන්නාවූ එම ආශ්චර්‍ය්‍යය දැක සුගතවූ, ලෝක නායකවූ බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.
1773. එම චිත්ත ප්‍රසාදය කරණ කොට ගෙන කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනෙමි.
1774. කල්ප පසළොස් දහසකට මත්තෙහි මහත් බල ඇති චිත්තමාලා නම් සක්විති රජවරු විසිපස් දෙනෙක් වූහ.
1775. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙරෙය්‍යක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සෙරෙය්‍යකත්ථෙරස්සාපදානං පඨමං.
122. පුප්ඵථූපිය ථේරාපදානය.
1776. හිමවතට නුදුරු තන්හි කුක්කුට නම් පර්‍වතයක් විය. එම පර්වතය අතුරෙහි මන්ත්‍රයන්හි පරතෙරෙට ගිය බ්‍රාහ්මණයෙක් විය.
1777. හැම කල්හි මා පන්දහසක් ශිෂ්‍යයෝ පිරිවරත්. ඔවුහු හැමට පළමු උදූසන නැගිටින සුළුවූ, මන්ත්‍රයන්හි විශාරදයෝද වූහ.
1778. එම ශිෂ්‍යයෝ මෙසේ කීහ. බුදුරජ තෙම ලොව පහළවිය. උන්වහන්සේ අසූවක් ව්‍යඤ්ජන ඇති සේක. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයක් ඇති සේක. එම ජිනෙන්‍ද්‍රයන් වහන්සේ හිරු මෙන් බබළන සේක.
1779. මන්ත්‍රයන්හි පරතෙරෙට ගිය බමුණු තෙමේ, ශිෂ්‍යයන්ගේ වචනය අසා, අසපුවෙන් නික්ම, ලොකනායකවූ මහා වීරයන් වහන්සේ යම් දිශාවක වැඩ වෙසෙන සේක් නම් ශිෂ්‍යයන්ගෙන් එම දිශාව විචාරයි.
1780. මම එම දිශාවටද අප්‍රති පුද්ගලවූ, පස් මරුන් දිනුවාවූ උන්වහන්සේටද නමස්කාර කරන්නෙමියි (සිතා) ඉක්බිති ඔද වැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ඒ තථාගතයන් පිදීමි.
1781. ශිෂ්‍යවරුනි, එව්. යන්නෙමු. ඒ තථාගතයන් දකින්නෙමු. ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ, බුද්ධ ධර්‍මය අසන්නෙමුය කියායි.
1782. නික්ම එක් දිනකින් මම රෝගී වීමි. රෝගයෙන් පෙළුනේ විසීම සඳහා ශාලාවකට ගියෙමි.
1783. සියළු ශිෂ්‍යයන් රැස් කරවා තථාගතයන් කෙබඳුද? පරම බුද්‍ධිමත් ලෝකනාථයන් වහන්සේගේ ගුණ කෙබඳුදැයි ඔවුන්ගෙන් විචාළෙමි.