120. ජාති පූජක ථේරාපදානය
1758. “විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ කල්හි සාගර පර්‍වත සහිතවූ පෘථිවිය කම්පණය විය.
1759. “නිමිත්ත පාඨකයෝ මෙසේ පැවසූහ. (කෙසේද යත්?) සියළු සත්ත්‍වයන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ සර්වඥ තෙම ලොව පහළවන්නේය. ජන සමූහය සසර සයුරින් නගා සිටුවන්නේය.”
1760. “මම නිමිත්ත පාඨකයන්ගේ වචනය අසා (උත්පත්තිය නිමිතිකොට පැවැත්වූ) ජාති පූජාව කෙළෙමි. (බුදුරජුන්ගේ උපත පිළිබඳව පවත්වන ලද) ජාති පූජාව යම්බඳු නම් එබඳු උතුම් පූජාවක් (ලෙව්හි) නැත.
1761. “කුසල් කොට සිත පැහැදවීමි. එහිදී (එම) ජාති පූජාව කොට කළුරිය කෙළේ වෙමි.
1762. “දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යෝනියක උපදිම්ද, (සම්පත්තියෙන්) සියළු සත්ත්‍වයන් ඉක්මවමි. ජාති පූජාවෙහි මේ විපාකයයි.
1763. “මාගේ චිත්ත වාරයට අනුව පවතින්නාවූ කිරි මව්වරු මට උවටැන් කෙරෙත්. (ඒ ස්ත්‍රීහු) මා කෝප කිරීමට නොහැක්කෝ වෙත්. ජාති පූජාවෙහි මේ විපාකයයි.
1764. “මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් පින් කමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ජාති පූජාවෙහි මේ විපාකයයි.
1765. “මින් තෙවන කපෙහි මහත් බල ඇති, ජනාධිපතිවූ, සුපාරිචරිය නම්වූ සූතිස් සක්විති රජ කෙනෙක් වූහ.
1766. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා ජාතිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
ජාතිපූජකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
පරිවාර ද, සුමඞ්ගල ද, සරණාගමනීය ද, එකාසනීය ද, පුප්ඵක (සුවණ්ණපුප්ඵිය) ද, චිතකපූජක ද, බුද්ධසඤ්ඤක ද, මග්ග ද, උපට්ඨාන (පච්චුපට්ඨාන) ද, ජාති පූජක ද යන මොහුයි. නුවණැත්තන් විසින් ගණන් බලන ලද ගාථාවෝ අනූවක් කියන ලදහ.
මහාපරිවාරවග්ගො ද්වාදසමො.
13. සෙරෙය්‍ය වග්ග
121. සෙරෙය්‍යක ථේරාපදානය.
1767. වේද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වේදත්‍රයෙහි පරතෙරෙට ගිය (මම) එලිමහන් තන්හි සිටියේ ශාන්තවූ ලෝකනායකයන් වහන්සේ දුටිමි.
1768. වනයෙහි හැසිරෙන්නාවූ සිංහයෙකු වැනිවූ, ව්‍යාඝ්‍රරාජයෙකු මෙන් තැති නොගන්නාවූ, තුන් තැනකින් මද හෙළන්නාවූ මාතංග හස්තිරාජයෙකු වැනිවූ මහර්ෂීන් වහන්සේ (දුටිමි).
1769. මම කටුකරඬු මල් ගෙන අහසෙහි විසි කළෙමි. බුදුරජුන්ගේ ආනුභාවයෙන් (එම මල් උන්වහන්සේ) හැම අතින් පිරිවරත්.
1770. මහා වීරවූ ලෝකනායක සර්වඥයන් වහන්සේ අදිටන් කළ සේක. (එම අදිටන් බලයෙන්) නරශ්‍රේෂ්ඨයන් වහන්සේට හාත්පස මල් වියනක් සේ විසිරුනාහ.
1771. ඉක්බිති නැටි උඩුකුරුවූ ඒ පුෂ්ප කඤ්චුකය (මල් වියන) සතියක් මුළුල්ලෙහි සෙවෙනියක් කොට යලි අතුරුදහන් විය.