110. රේණුපූජක ථේරාපදානය
“රන්වන්වූ, සියක් රැස් ඇති හිරු මෙන් වූද, සියලු දිගුන් බබුළුවන පුන්සඳ මෙන්වූද (බුදුරජාණන් වහන්සේ දුටිමි.)
“සයුරුවලින් පිරිවැරූ පොළොව මෙන් සව්වන් විසින් පිරිවරණ ලද විපස්සී බුදුරජාණන් වහන්සේට නාමල් ගෙන (එහි) රේණුවලින් මම පූජා කෙළෙමි.
“මින් එක්අනූවන කපෙහි (යම්) (නාමල්) රොන් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මින් පන්සාළිස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති රෙණු නම් සක්විති රජෙක් විය.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රේණුපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
රෙණුපූජකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
භික්ඛාදායී ද, ඤාණසඤ්ඤී ද, උප්පලහත්ථිය ද, පදපූජක ද, මුට්ඨිපුප්ඵිය ද, උදකදායක ද, නළමාලී ද, ආසනූපට්ඨාපක ද, බිළාලිදායී ද, රෙණු ද යන මොවුහු වෙති. ගාථාවෝ සයක් හා සැටක් ද (66) වෙත්.
භික්ඛදායිවග්ගො එකාදසමො.
12. මහා පරිවාර වග්ග
111. මහා පරිවාර ථේරාපදානය
1677. “ලෝක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂඨවූ, විපස්සී නම් බුදුරජාණන් වහන්සේ එකල්හි අට සැට දහසක් භික්ෂූන් සමග බන්ධුම නගරයට පිවිසි සේක.
1678. “නුවරින් නික්ම දිවයිනෙහිවූ චෛත්ය ස්ථානයට ගියෙමි. (එහිදී) කෙළෙස් රජස් විරහිත, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
1679. අසූ දහසක් අවශේෂ යක්ෂයෝ මා සමීපයෙහි, තව්තිසා වැසි දිව්ය සමූහයා ශක්රයාට මෙන් (මට) සකසා උවටැන් කරත්.
1680. “මම එකල්හි භවනයෙන් නික්ම වස්ත්රයක්ද ගෙන බුදුරජුන්හට හිස නමා වැන්දෙමි. එම වස්ත්රද දුනිමි.
1681. “බුදුරජතෙම ආශ්චර්ය්යයකි. ධර්මයෝද ආශ්චර්ය්යයය. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්ය්යයකි. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පෘථිවියද කම්පා විය.
1682. “ආශ්චර්ය්යවූ, ලොමු දැහැ ගන්නාවූ, එම විෂ්මය දැක, තාදී ගුණ ඇති, විපදෝත්තමවූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැදවීමි.
1683. “ඒ මම සිත පහදවා ශාස්තෲන්වහන්සේට වස්ත්රය පුදා, ඇමතියන් සහිතවූ පිරිවර ජනයා සමග සරණගතද වීමි.
1684. “මින් එක්අනූවන කපෙහිවූ එකල්හි යම් පුණ්ය කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
1685. “මින් පසළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සූවාහ නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1686. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා මහාපරිවාරො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මහාපරිවාරත්ථෙරස්ස අපදානං පඨමං.