101. භික්ඛාදායි ථේරාපදානය
“මම ස්වර්‍ණවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ (නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ) උතුම්වූ විහාරයෙන් (පිඬු පිණිස) නික්මුණාවූ, තෘෂ්ණාවෙන් නික්ම නිවණට පැමිණියාවූ,
ප්‍රඥාවෙන් උපශාන්තවූ, තාදී ගුණ ඇති, මහා වීරවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට සැන්දක් පමණවූ භික්‍ෂා දානයක් දුනිමි.
“පියවරින් පියවර වඩිමින් මහා ජනයා නිවණට පමුණුවන කල්හි මට (ඒ) ආදිච්ච බන්‍ධුවූ (හිරුගොත්හි) බුදුරජුන් කෙරෙහි මහත්වූ සොම්නසක් ඇතිවිය.
“මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්‍ෂා දානයාගේ මේ විපාකයයි.
“මින් සත්අසූවන කපෙහි සත් රුවනින් යුත් මහා රේණු නම් සක්විති රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භික්ඛාදායී තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භික්ඛදායකත්ථෙරස්සාපදානං පඨමං.
102. ඤාණ සඤ්ඤක ථේරාපදානය
“මම ස්වර්‍ණ වර්‍ණවූ, උතුම් ආජානීයයෙකු මෙන් ශ්‍රේෂඨවූ, ත්‍රිමද ගලිත මෘතඞ්ග හස්ති කුලයෙහිවූ ඇත්රජෙකු වැනි, මහර්ෂීවූ,
පුන් සඳු මෙන් සියළු දිගුන් බබුළුවන්නාවූ, වීථියට පිළිපන්, ලෝක ශ්‍රේෂඨවූ (සිද්‍ධාර්ත්‍ථ) බුදුරජාණන් වහන්සේ දුටිමි.
උන්වහන්සේගේ නුවණෙහි සිත පහදවා, ඇඳිලි බැඳගෙන සොම්නස්වූයේ, පහන් සිත් ඇත්තේ, සිද්‍ධාර්ත්‍ථ බුදු රජුන්හට අභිවාදනය කෙළෙමි.
“මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ ඥානය පැහැදි සිතින් සිත්හිලා සැළකීමේ විපාකයයි.
“මින් තෙසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති නර ශ්‍රේෂ්ඨවූ සක්විති රජවරු සෙළොස් දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණ සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඤාණසඤ්ඤිකත්ථෙරස්සාපදානං දුතියං.
103. උප්පලහත්ථිය ථේරාපදානය
“තීව්රා නගරයෙහි වෙසෙන සුළුවූ මම එකල්හි මල් කරුවෙක් වීමි. (එහිදී) පහළවූ කෙළෙස් රජස් ඇති ලෝකනායකවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (උන් වහන්සේට) (උපුල්) මල් මිටක් දුනිමි. එම කර්‍මයාගේ විපාකයෙන් යම් යම් භවයක උපදීද,
“මනාවූ මල්ලයන් විසින් පිරිවරණ ලදුයේ, පෙර තමා කළ පින්කම්හි ඉෂ්ඨ විපාක අනුභව කරමි. පුෂ්පදානයාගේ මේ විපාකයයි.
“මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මෙම භවය හැර සිව් අනූවන කපෙහි පටන්ම එහි නජ්ජු නම් පන්සියයක් රජවරු වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උප්පලහත්ථිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උප්පලහත්ථියත්ථෙරස්සාපදානං තතියං.