102. ඤාණ සඤ්ඤක ථේරාපදානය
“මම ස්වර්ණ වර්ණවූ, උතුම් ආජානීයයෙකු මෙන් ශ්රේෂඨවූ, ත්රිමද ගලිත මෘතඞ්ග හස්ති කුලයෙහිවූ ඇත්රජෙකු වැනි, මහර්ෂීවූ,
පුන් සඳු මෙන් සියළු දිගුන් බබුළුවන්නාවූ, වීථියට පිළිපන්, ලෝක ශ්රේෂඨවූ (සිද්ධාර්ත්ථ) බුදුරජාණන් වහන්සේ දුටිමි.
උන්වහන්සේගේ නුවණෙහි සිත පහදවා, ඇඳිලි බැඳගෙන සොම්නස්වූයේ, පහන් සිත් ඇත්තේ, සිද්ධාර්ත්ථ බුදු රජුන්හට අභිවාදනය කෙළෙමි.
“මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ ඥානය පැහැදි සිතින් සිත්හිලා සැළකීමේ විපාකයයි.
“මින් තෙසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති නර ශ්රේෂ්ඨවූ සක්විති රජවරු සෙළොස් දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණ සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඤාණසඤ්ඤිකත්ථෙරස්සාපදානං දුතියං.
103. උප්පලහත්ථිය ථේරාපදානය
“තීව්රා නගරයෙහි වෙසෙන සුළුවූ මම එකල්හි මල් කරුවෙක් වීමි. (එහිදී) පහළවූ කෙළෙස් රජස් ඇති ලෝකනායකවූ සිද්ධාර්ත්ථ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (උන් වහන්සේට) (උපුල්) මල් මිටක් දුනිමි. එම කර්මයාගේ විපාකයෙන් යම් යම් භවයක උපදීද,
“මනාවූ මල්ලයන් විසින් පිරිවරණ ලදුයේ, පෙර තමා කළ පින්කම්හි ඉෂ්ඨ විපාක අනුභව කරමි. පුෂ්පදානයාගේ මේ විපාකයයි.
“මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මෙම භවය හැර සිව් අනූවන කපෙහි පටන්ම එහි නජ්ජු නම් පන්සියයක් රජවරු වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උප්පලහත්ථිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උප්පලහත්ථියත්ථෙරස්සාපදානං තතියං.
104. පදපූජක ථේරාපදානය
“මම සිද්ධාර්ත්ථ බුදුරජාණන් වහන්සේට සමන් මල් පිදීමි. (උන්වහන්සේගේ) ශ්රීපාදයෙහි මේ මල් සතක් සතුටින් විසිරවීමි.
“එම පුණ්ය කර්මය කරණකොටගෙන අද දෙව් මිනිසුන් අතරෙහි අතිශයින් බබළමි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
“මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
“මින් පස්වෙනි කපෙහි සිව්මහ දිවයින හා සිව් සයුර කෙළවරකොට ඇති පෘථිවියෙහි අධිපතිවූ, ජනාධිපතිවූ සමන්තගන්ධ නම්වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පදපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.
105. මුට්ඨිපුප්ඵිය ථේරාපදානය
“එකල්හි මම නම්න් සුදස්සන නම්වූ මල් කරුවෙක්වීමි. ලෝක ජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ, පහවූ කෙළෙස් මල ඇති බුදුරජාණන් වහන්සේ දුටිමි.
“(මම) දෑසමන් මල් ගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පිදීමි. (ඒ හේතුවෙන්) පිරිසිදු ඇස් ඇත්තේ, සොම්නස්වූයේ, දිවැසද ලැබීමි.
“මම මේ පුෂ්ප පූජාව කරණකොට ගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොට ගෙනද කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නීපදුනෙමි.
“මින් සතිස්වන කපෙහි මහත් බල ඇති දෙවුත්තර නම්වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මුට්ඨිපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.