97. මධුපිණ්ඩික ථේරාපදානය.
1588. අල්ප ශබ්ද ඇති, නිරාකූලවූ මහ වනයෙහිදී, ඎෂීනට ශ්‍රේෂ්ඨවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ දැක,
1589. නිවීගිය ආත්මභාව ඇති, අති ශ්‍රේෂඨවූ උත්තම ආජානීයත්‍වය ඇති, ඔසධී තරුව මෙන් බබළන්නාවූ, දිව්‍ය සමූහයා විසින් නමස්කාර කරණ ලද (ඒ බුදුරජුන් දැක), එකෙණෙහි මට (මහත්) සොම්නස් සහගතවූ (සිතට) අමුතුවූ නුවණක් උපන්නේය.
1590. සමාධියෙන් නැගී සිටි (ඒ) බුදුරජාණන් වහන්සේට මී දී, එම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයද වැඳ නැගෙණහිර දෙසට මුහුණ ලා ගියෙමි.
1591. සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභව කරණ) භෝජනයෙහිද නෙළුඹු පැනි වැගිරේ. මිහි වැසිද වැස්සේය. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකයයි.
1592. මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් මී වදයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මධු දානයාගේ මේ විපාකයයි.
1593. මින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
1594. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මධුපිණ්ඩික ථේරාපදානය හත්වැනියි.
98. සෙනාසනදායකත්ථෙරාපදං.
1595. (මම) සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට පන් ඇතිරියක් දුනිමි. හාත්පස අසෙනිය කුසුම්ද විසිරවිය.
1596. මෙසේ පහයෙහි (මොලොක්) ගුණ ඇති මනරම් අගනා (ඇතිරි) පරිහරණය කරමි. මාගේ සයනයෙහි මාහැඟි මල්ද වැටේ.
1597. මම විසිතුරුවූ මල් අතුළ සයනයෙහි එකෙණෙහි හොවීමි. එකෙණෙහි සයනයෙහි මල් වැසිද වසින්නේය.
1598. මින් සිව් අනූවන කපෙහි පත් ඇතිරියක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඇතිරි දනෙහි මේ විපාකයයි.
1599. මින් පස්වෙනි කපෙහි ජනාධිපතිවූ තිණසන්ථරක නම් මේ සක්විති රජකෙනෙක් වූහ.
1600. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සේනාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සෙනාසනදායක ථේරාපදානය අටවැනියි.
99. වෙය්යාවච්චකත්ථෙරාපදානං.
1601. විපස්සී බුදුරජාණන් වහන්සේගේ (භක්තිමත්) මහා ජන සමූහයා විය. මම (එකල්හි) සියළු කටයුතුවල යෙදුනු වතාවත් කරන්නෙක් වීමි.
1602. මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට පිදියයුතු දෙයක්ද මට නැත. පිරිසිදු සිතින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.
1603. මම මින් සිව් අනූවන කපෙහි (බුදුරජුන්ට) වතාවත් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) වතාවත් කිරීමෙහි මේ ප්‍රතිඵලයයි.
1604. මින් අටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුචින්තිත නම් මේ සක්විති රජෙක් වීමි.
1605. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙය්‍යාවච්චක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වෙය්යාවච්චක ථේරාපදානය නවවැනියි.
100. බුද්ධුපට්ඨාකත්ථෙරාපදානං.
1606. (මම) විපස්සී බුදුරජුන්ගේ (කාලයෙහි) සක් පිඹින්නෙක් වීමි. මහර්ෂීවූ සුගතයන් වහන්සේට නිතර (සක් පිඹීමෙන්) උවටැනෙහි යෙදුනේ වීමි.
1607. තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය බලව්. හැමකල්හි සැට දහසක් තූර්‍ය්‍යයෝ මා පිරිවරත්.