95. ගන්ධමාලිය ථේරාපදානය
1576. මම සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට (සඳුන්, අගිල්, කපුරු, කස්තුරි ආදිය වඩා) සුගන්‍ධස්ර්‍ථපයක් කෙළෙමි. බුදුරජාණන් වහන්සේට සුදුසු සේ කරණලද එය සමන් මල්වලින් වසන ලදී.
1577. රන් ඇගෑවක් මෙන් බබළන, ලෝකයෙහි අසහාය නායකවූ, සර්‍වඥවූ, උපුල් මලක් මෙන් බබළන, ඇවිලෙන ගින්නක් වැනි (බුදුරජාණන් වහන්සේ ද),
1578. ශ්‍රේෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු මෙන් උතුම්වූ, විශිෂ්ඨ ජන්ම ඇති, කේශර සිංහයෙකු වැනි, භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද, ශ්‍රමණයනට අග්‍රවූ බුදුරජාණන් වහන්සේද, (එම) බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද යුග්මයද වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1579. යම්හෙයකින් මින් සිව් අනූවන කපෙහි මේ ගඳමල් පූජාවක් කරණ ලදද, බුදුරජුන් විෂයෙහි කරණ (ලද) පුණය කර්‍මයාගේ විපාක කරණකොටගෙන මම විශේෂයෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
1580. එකුන් සතලිස්වන කපෙහි දෙවගන්‍ධ නම්වූ ඒ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1581. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගන්ධමාලිය ථේරාපදානය පස්වැනියි.
96. තිපුප්ඵිය ථේරාපදානය.
1582. මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි. (විපස්සී බුදුරජුන්ගේ) නිල්වන්වූ පළෝල් බෝධිය දැක (එයට) මල් තුනක් විසිරවීමි. (පිදීමි.)
1583. මම එකල්හි (බෝ) කොළ සතක් (අවුලා) ගෙන පිටත දැමීමි. ඇතුළත පිරිසිදුවූ පිටත (ද) පිරිසිදුවූ (කෙළෙසුන්ගෙන්) මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ,
1584. ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කළුරිය කෙළෙමි.
1585. මින් එක් අනූවන කපෙහි යම් බෝධි පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
1586. මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නම් වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ.
1587. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිපුප්ඵිය ථේරාපදානය හයවැනියි.
97. මධුපිණ්ඩික ථේරාපදානය.
1588. අල්ප ශබ්ද ඇති, නිරාකූලවූ මහ වනයෙහිදී, ඎෂීනට ශ්‍රේෂ්ඨවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ දැක,
1589. නිවීගිය ආත්මභාව ඇති, අති ශ්‍රේෂඨවූ උත්තම ආජානීයත්‍වය ඇති, ඔසධී තරුව මෙන් බබළන්නාවූ, දිව්‍ය සමූහයා විසින් නමස්කාර කරණ ලද (ඒ බුදුරජුන් දැක), එකෙණෙහි මට (මහත්) සොම්නස් සහගතවූ (සිතට) අමුතුවූ නුවණක් උපන්නේය.
1590. සමාධියෙන් නැගී සිටි (ඒ) බුදුරජාණන් වහන්සේට මී දී, එම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයද වැඳ නැගෙණහිර දෙසට මුහුණ ලා ගියෙමි.
1591. සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභව කරණ) භෝජනයෙහිද නෙළුඹු පැනි වැගිරේ. මිහි වැසිද වැස්සේය. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකයයි.
1592. මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් මී වදයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මධු දානයාගේ මේ විපාකයයි.
1593. මින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
1594. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මධුපිණ්ඩික ථේරාපදානය හත්වැනියි.