92. සුචින්තිත ථේරාපදානය.
1560. මම සියල්ල දත් තිස්ස බුදුරජුන්හට තුටුවූයේ, තුටු සිතින්ම (සිලිටි දැව මුවා අනගි) පිරිසිදු පුටුවක් පිදීමි.
1561. මින් අට තිස්වන කපෙහි මහාරුචි නම් රජෙක් වීමි. (ඔහුට) බොහෝවූ සයනාසනද, මහත්වූ භෝගද ඇත්තේ විය.
1562. පිරිසිදු සිතින් බුදුරජාණන් වහන්සේට පුටුවක් දී තමා විසින් පෙර මැනවින් කළ (ඒ) ස්වකීය (පුණ්ය) කර්මය අනුභව කරමි.
1563. මින් දෙනූවන කපෙහිවූ එකල්හි යම් පුටුවක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පීඨ දානයාගේ මේ විපාකයයි.
1564. මින් අටතිස්වන කපෙහි රුචිය, උපරුචිය, මහා රුචිය යයි සක්විති රජවරු තිදෙනෙක් වුහ.
1565. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුචින්තිත ථේරාපදානය දෙවැනියි.
93. අඩ්ඪචෙලක ථේරාපදානය.
1566. මම සියල්ල දත් තිස්ස බුදුරජාණන් වහන්සේට (සිව්රු පිණිස) රෙදි කැබැල්ලක් දුනිමි. දුගඳින් යුත් මම අතිශය දුකට පත්වූයේ වෙමි.
1567. මම (සිව්රු පිණිස මෙම) රෙදි කැබැල්ල පුදා කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටුවීමි. සෙසු කල්පයන්හි මා විසින් කුශල් කරණ ලදී.
1568. මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වස්ත්ර දානයාගේ මේ විපාකයයි.
1569. එකුන් පණස්වන කපෙහි ජනාධිපතිවූ සමන්ත ඡදන නම් දොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1570. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචෙලක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අඩ්ඪචෙලක ථේරාපදානය තෙවැනියි.
94. සූචිදායක ථේරාපදානය.
1571. මම පෙර බන්ධුමා නම් උතුම් පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් විපස්සී බුදුරජාණන් වහන්සේට හිදි (ඉදිකටු) දනක් දෙන ලදී.
1572. එම හිදි දන කරණකොට එවැනිමවූ විදුරග වැනි නුවණ වේ. පහවූ රාගය ඇත්තේ වෙමි. (කෙළෙසුන්ගෙන්) මිදුනේ වෙමි. ආශ්රවක්ෂයට පැමිණියේ වෙමි.
1573. අතීත භවයෙහිද, වර්තමාන භවයෙහිද, අනාගත භවයෙහිද සියල්ල නුවණින් සොයා ගතිමි. හිඳි දනෙහි මේ විපාකයයි.
1574. මින් එකානූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වජිර නම්වූ සක්විති රජ කෙනෙක් වූහ.
1575. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සූචිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සූචිදායක ථේරාපදානය සිව්වැනියි.
95. ගන්ධමාලිය ථේරාපදානය
1576. මම සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේට (සඳුන්, අගිල්, කපුරු, කස්තුරි ආදිය වඩා) සුගන්ධස්ර්ථපයක් කෙළෙමි. බුදුරජාණන් වහන්සේට සුදුසු සේ කරණලද එය සමන් මල්වලින් වසන ලදී.
1577. රන් ඇගෑවක් මෙන් බබළන, ලෝකයෙහි අසහාය නායකවූ, සර්වඥවූ, උපුල් මලක් මෙන් බබළන, ඇවිලෙන ගින්නක් වැනි (බුදුරජාණන් වහන්සේ ද),
1578. ශ්රේෂ්ඨ ව්යාඝ්රයෙකු මෙන් උතුම්වූ, විශිෂ්ඨ ජන්ම ඇති, කේශර සිංහයෙකු වැනි, භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද, ශ්රමණයනට අග්රවූ බුදුරජාණන් වහන්සේද, (එම) බුදුරජාණන් වහන්සේගේ ශ්රීපාද යුග්මයද වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1579. යම්හෙයකින් මින් සිව් අනූවන කපෙහි මේ ගඳමල් පූජාවක් කරණ ලදද, බුදුරජුන් විෂයෙහි කරණ (ලද) පුණය කර්මයාගේ විපාක කරණකොටගෙන මම විශේෂයෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
1580. එකුන් සතලිස්වන කපෙහි දෙවගන්ධ නම්වූ ඒ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1581. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගන්ධමාලිය ථේරාපදානය පස්වැනියි.