100. බුද්ධුපට්ඨාකත්ථෙරාපදානං.
1606. (මම) විපස්සී බුදුරජුන්ගේ (කාලයෙහි) සක් පිඹින්නෙක් වීමි. මහර්ෂීවූ සුගතයන් වහන්සේට නිතර (සක් පිඹීමෙන්) උවටැනෙහි යෙදුනේ වීමි.
1607. තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය බලව්. හැමකල්හි සැට දහසක් තූර්ය්යයෝ මා පිරිවරත්.
1608. මින් එක් අනූවන කපෙහි මහර්ෂීවූ බුදුරජුන්ට (සක් පිඹීමෙන් යම්) උවටැනක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උවටැනක් කිරීමෙහි මේ විපාකයයි.
1609. මින් සූවිසිවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මහා නිග්ඝෝෂ නම් වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1610. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බුද්ධපට්ඨාක ථේරාපදානය දසවැනියි.
උද්දානය:
සුධාපිණ්ඩිය, සුචින්තිත, අඩ්ඪචෙලක ද, සූචිදායක සහ ගන්ධමාලිය ද, තිපුප්ඵිය, මධුපිණ්ඩික, සේනාසන ද, වෙය්යාවච්චක සහ බුද්ධුපට්ඨාක ද (යන මේ ථෙරවරු වෙති). මේ වර්ගයෙහි ගාථාවෝ සැටක් ද (තවත් ගාථා) සම ප්රමාණයක් ද (එකතුව එකසිය විස්සක්) කීර්තනය කරන ලදහ.
සුධාපිණ්ඩිය වර්ගය දසවැනියි.
මේ වර්ග උද්දානයයි:
බුද්ධ වර්ගය පළමුවැනිය. සීහාසන, සුභූති, කුණ්ඩධාන, උපාලි, වීජනී, සකචින්ති, නාගසමාල, තිමිර හා සුධා වර්ගය (යන මේවා) ඒ දස (වර්ගයෝයි). ගාථාවෝ එක්දහස් හාරසිය පනස්පහකි.
බුද්ධ වර්ග දසකයයි.
ප්රථම ශතකය සමාප්තයි.
11. භික්ඛාදායි වග්ග
101. භික්ඛාදායි ථේරාපදානය
“මම ස්වර්ණවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ (නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ) උතුම්වූ විහාරයෙන් (පිඬු පිණිස) නික්මුණාවූ, තෘෂ්ණාවෙන් නික්ම නිවණට පැමිණියාවූ,
ප්රඥාවෙන් උපශාන්තවූ, තාදී ගුණ ඇති, මහා වීරවූ සිද්ධාර්ත්ථ බුදුරජාණන් වහන්සේට සැන්දක් පමණවූ භික්ෂා දානයක් දුනිමි.
“පියවරින් පියවර වඩිමින් මහා ජනයා නිවණට පමුණුවන කල්හි මට (ඒ) ආදිච්ච බන්ධුවූ (හිරුගොත්හි) බුදුරජුන් කෙරෙහි මහත්වූ සොම්නසක් ඇතිවිය.
“මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්ෂා දානයාගේ මේ විපාකයයි.
“මින් සත්අසූවන කපෙහි සත් රුවනින් යුත් මහා රේණු නම් සක්විති රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භික්ඛාදායී තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භික්ඛදායකත්ථෙරස්සාපදානං පඨමං.