2.
පච්චෙක බුද්ධාපදානය
අනතුරුව ප්‍රත්‍යෙක බුද්ධාපදානය අසව්.
82. වේදේහි පුත්‍ර ආනන්‍ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, කිනම් හේතුවකින් ප්‍රත්‍යෙක බුදුවරයෝ වෙත්දැයි” නැමඳුම් පෙරටුව විචාළ සේක.
83. එකල්හි මහාර්ෂිවූ සර්‍වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මධුර ස්වරයෙන් මෙසේ වදාළ සේක: “පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්‍වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්‍ෂය ඇති,”
84. “අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එම සංවේගයම මුල්කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිතව ස්වල්පමාත්‍රවූද අරමුනක් හේතුකොට ගෙන පසේබුදුබවට පැමිණෙති.”
85. “සකල ලෝකයෙහි (සර්‍වඥ බුද්‍ධවූ) මා හැර පසේබුදුවරයන් සමග සමානවූ අනිකෙක් නැත. ඒ පසේබුදුවරයන්ගේ ගුණයන් පිළිබඳ ලේශ මාත්‍රයක් මම (දැන් තොපට) මැනවින් දේශනා කරමි.
86. “පරෝපදේශ රහිතව තෙමේම අවබෝධ කරගත් පසේබුදුවරයන්ගේ මිහිරිවූ උදාන වාක්‍යයෝ කුඩා මී වදයක් මෙන් (මිහිරි) වෙති. අනුත්තරවූ නිර්වාණ සංඛ්‍යාත ඖෂධය පතන (තෙපි) සියල්ලෝම මනාකොට පහන්වූ සිත් ඇත්තෝව (එය) අසව්.
87. “එහි රැස්වූ පසේ බුදුබවට පත් උතුමන්ගේ පිළිවෙළින් කළ යම් ප්‍රකාශයෝ වෙත් නම් හේ මෙසේයි. කාමයන් පිළිබඳ යම් ආදීනවයක් වෙත් නම් එයද නොඇලීමට කරුණුවූ යමක් වීනම්, එය (දැක) උන්වහන්සේලා ප්‍රත්‍යෙක සම්බෝධියට පත්වූහ.
88. “තෘෂ්ණාවෙන් රැඳිය යුතු වස්තු කාම, ක්ලේශ කාමයන්හි නොරැවටුනු පැණවතුන් වූවාහු, ඇලෙන ස්වභාවය ඇති ලෝකයෙහි නොඇලෙන සිත් ඇත්තාහු කෙලෙස් දුරු කොට දෙසැට මිසදිටු ජයගෙන (මේ උතුමෝ) එම හේතුවෙන් ප්‍රත්‍යෙක සම්බෝධියට පැමිණියාහුය.
89. “සියලු සත්ත්‍වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්‍වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නො කරන්නේ මෙත් සිතින් පතුරුවාලූ හිතානුකම්පා ඇත්තේ, (එම පසේ බුදු රජ තෙම) කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේයි.
90. “සියලු සත්ත්‍වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්‍වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නොකරන්නේ පුත්‍රයා ගැන පවා බලාපොරොත්තුවක් නොතබන්නේය. සහායයන් ගැන කියනුම කවරේද? කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
91. “හටගත් සංසර්‍ග ඇත්තහුට (ඒ හේතුවෙන්) ස්නේහය උපදී. ඒ ස්නේහය අනුව යන්නහුට මේ දුක ඇතිවේ. ස්නේහයෙන් හටගත් ආදීනව දකින්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
92. “සුහෘදවූ මිත්‍රයන්ට අනුකම්පා කරන්නේ මිත්‍රයා හා පිළිබඳ සිත් ඇති බව හේතුකොට ගෙන තමාගේ දෙලෝ අභිවෘද්ධිය පිරිහෙලා ගනී. සන්ථවයෙහි ඇති මේ භය දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
93. “යම් සේ එකට ගෙතුනාවූ විශාල හුණ පඳුරක් මෙන් පුත්‍රදාරාවන් කෙරෙහි යම් ස්නේහයක් වී නම් හුණකිලිලක් මෙන් නොඇලෙන්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
94. “යම්සේ මෘගයා උයනෙහි රැහැන් ආදියකින් නොබඳනා ලද්දේ යම් කැමති තැනකට ගොදුරු පිණිස යේද, නුවණැති මනුෂ්‍ය තෙමේ ස්වෛරී බවද එසේම දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
95. “මිතුරන් මැද සිටින විටද, දිවාසනයෙහිද, මහා උපට්ඨාන සංඛ්‍යාත සිටීමෙහිද, උද්‍යාන ගමනෙහිද, ජනපද චාරිකාවෙහිද යන මේ අවස්ථාවන්හිදී ඇමතීම ඇතිවේ. අපරාධීනවූ ස්වෛරී බවෙහි අනුසස් දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
96. “සහායයන් මැද සිටිනවිට (කායික වාචසික) ක්‍රීඩාවෝද පංචකාම ගුණික රාගයෝද වෙති. එසේම පුත්‍රයන් කෙරෙහි ප්‍රේමයද අධිකවේ. එහි ඇතිවන ප්‍රිය විප්‍රයෝගය පිළිකුල් කරණුයේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
97. “යථාලාභ වශයෙන් සන්තෝෂ වන්නන් සමග, සිව් දිගෙහිවූ සත්ත්‍වයන් හා සංස්කාරයන් සමග, භය වශයෙන් නොගැටෙන්නේ වේ. කාය චිත්ත දරථයන් (වෙහෙසීම්) ඉවසනසුළු ලොමු දැහැ ගනීම් නැත්තේය. කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.