1. සාරීපුත්‍රථේරාපදානය
140. “හිමවතට නුදුරෙහි “ලම්බක” නම් පර්‍වතයකි. එහි මට අසපුවක් කරණ ලදී. පන්සලක් මැනවින් මවන ලදී.
141. “මනාවූ (කුඩා) තොටුපලවල් ඇති, මනොඥවූ සුදෝ සුදු වැලි තලාවන්ගෙන් ගැවසී ගත් කුඩා ගඟ මාගේ අසපුව අවට නුදුරෙහි විය.
142. “බොරළු රහිත, ගැඹුරු ඉවුරු නැති, මනා ජලයෙන් යුත්, දුර්‍ගන්‍ධ විරහිතවූ (එම) කුඩා ගංගා තොම එහි මාගේ අසපුව හොබවමින් ගලා බසින්නීය.
143. “කිඹුල්ලුද, මෝරුද මුඛයෙන් සූ සූ නදින් (දිය බුබුළු උඩට නගන සුංසුමාර නම්වූ) චණ්ඩ මත්ස්‍යයෝද, කැසුබුවෝද එහිවූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි සැරිසරත්.
144. “පෙටියෝද, පාවුස නම් (ලූල්ලු) මත්ස්‍යයෝද, වජල නම් (වලයෝ)මත්ස්‍යයෝද, මුඤ්ජ නම් (මොද්දු) මත්ස්‍යයෝද, රොහිත (රෙහෙරු) මත්ස්‍යයෝද, චග්ගුල නම් මත්ස්‍යයෝද පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.
145. “එම ගඟ දෙපසෙහි (හැමකල්හි) පිපුණු මල් ඇත්තාවූද, හටගත් ගෙඩි ඇත්තාවූද, වෘක්‍ෂයෝ දෙතෙරෙහි පහළට නැමුණාහු, මාගේ අසපුව හොබවත්.
146. “අඹ, සල්, මදට, පළොල්, නික යන මේ වෘක්‍ෂයෝ පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.
147. “සපු, සලල, කොළොම්, නා, දොඹ, වැටකේ යන වෘක්‍ෂයෝද, පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.
148. “මාගේ අසපුවෙහි යොහොඹු, හෝපළු, භගිනි, මාලා යන වෘක්‍ෂයෝ මල් පිපී ගියාහුය. එසේම, රුකගුණ, රත්කරවු යන වෘක්‍ෂයෝද සුපුෂ්පිත වූවාහුය.
149. “වැටකේ, කඳල, ගොවුක, බොලිද්ද යන වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
150. “කිණිහිරිය, සිහින් මිදිය, පියාය, කුඹුක්ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
151. “දොඹය, ගිරි දොඹය (ගිරිපුන්නාහ), කොබෝ ලීලය යන වෘක්‍ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
152. “ඇසළය, කෙළිඳය, කොළොම්ය, මුහුණ මල්ය යන බොහෝ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
153. “ආලකය, ඉසිමුග්ගය, (වනමුං) කෙසෙල්ය, ලප්නාරන්ය යන මේ වෘක්‍ෂයෝ සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.
154. “(අසපුව අසලවූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කෙසර පද්මයෝ හට ගනිත්. ඇතැම් පිපුණු පද්මයෝ ගිලිහුණු පත් හා කෙසුරු ඇත්තෝ වෙත්.
155. “පද්මයෝ කැකුළුව හටගනිත්. නෙළුඹු අල (මඩ අතුරින් ඇත් දළ මෙන්) වැඩීමෙන් මහවිල් කටු (කටු දෙලු) පත්වලින් ගැවසීගත්තාහු හැමකල්හි (එම) විලෙහි බබළත්.
156. “විල අසල පිපීගිය නයිතය අම්බ (පුෂ්ප) ගන්ධිය, උත්තාලීය, බඳුවද යන මේ ගස්හු හැම කල්හි දිව සුවඳ හමත්.
157. “පෙටියෝද, පාවුසයෝද, වලප්ය, මුඤ්ජය, රොහිතය, සංගුලය, මංගුරය යන මත්ස්‍යයෝද එකල්හි තඩාගයෙහි වසත්.
158. “කිඹුල්ලුද, තන්නිගාහ රකුසෝය, මගුහය, අජකාර යන මොවුහු එකල්හි මෙම තඩාගයෙහි වසත්.
159. “පරෙවිය, රවිහංසය, සක්වා ලිහිණිය (නදීවරයාද), කොකිලය, ගිරාය, සාලිකය යන මේ පක්‍ෂීහු ඒ විල ඇසුරෙන් ජීවත් වෙති.
160. “කුකුත්‍ථකය, කුලීරකය, වෙනෙහි වෙසෙන පොක්ඛර සාතකය, දින්දිභය, සුවපොතය (මලිත්තා) යන මේ පක්‍ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.
161. “හංසයෝය, කොස්වා ලිහිණියෝය, මොණරු, කොව්ලෝය, හුන පුපුළෝය, ජිවඤ්ජිවයෝය යන මේ පක්‍ෂීහු මේ පක්‍ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.
162. “බකමුහුණෝය, පොඨසීස නම් පක්‍ෂීහුය, කබරුස්සෝය, උකුස්සෝය, මහා කාල නම් පක්‍ෂීහුය යන බොහෝ පක්‍ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.
163. “පසදමෘගයෝය, ඌරෝය, වෘකයෝය, කැනහිල්ලුය, රොහිච්ච නම් මෘගයෝය, සුග්ගදී පොතයෝය යන බොහෝ මෘගයෝ එම විල ඇසුරුකොට ජීවත් වෙති.
164. “සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කරබානා වලස්සුය, තෙතැනකින් මද බිඳෙන (ත්‍රිමද ගලිත) ඇත්තුය ඒ විල ඇසුරුකොට වෙසෙත්.
165. “කිඳුරෝද, වඳුරෝද, යලිදු වනයෙහි කර්‍මාන්තයන්හි යෙදුනෝද (මුවසේවටු ආදීහුද) දාසයෝද, වැද්දෝද, එම විල ඇසුරුකොට වෙසෙත්.
166. “තිලිසිරිය, පිය, වැල්මීය (කාසුවාරියා) යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරුවම පල දරත්.
167. “මනාව හටගත් පලයන්ගෙන් යුත් කොසුම්භය, සලලය, කොළොම්ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරුවම පල දරත්.
168. “අරළුය, නෙල්ලිය, අබය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුලුය, බෙලිය, යන මෙකී වෘක්‍ෂයෝද පල දරත්.
169. “ආළුය, කලම්බය, බිලාලීය, තක්කලය, ජීවකය, සුතකය යන බොහෝ අල වර්‍ගයෝ මාගේ අසපුවෙහි වෙති.