9.
ආටානාටිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතර වරම් මහ රජදරුවෝ මහත්වූ යක්ෂ සේනාවෙන්ද, මහත්වූ ගාන්ධර්ව සේනාවෙන්ද, මහත්වූ කුම්භණ්ඩ සේනාවෙන්ද, මහත්වූ නාගසේනාවෙන්ද, සතර දිසාවෙහි ආරක්ෂා පිහිටුවා, සතර දිසාවෙහි බල සෙනග පිහිටුවා, සතර දිසාවෙහි රැකවල් ලවා, රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි, (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ජකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතන්හි පැමිණියා හුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්ෂයෝද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන්දී වැඳ එක පැත්තකටවී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගොත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියාම) එතන්හිම හුන්නාහුය.
2. එකපැත්තක හුන්නාවූ වෛශ්‍රවණ නම්වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ උසස් (බලවත්) යක්ෂයෝද ඇත්තාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ උසස් (බලවත්) යක්ෂයෝද ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ මද්ධ්‍යම ආනුභාව ඇති යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ මද්ධ්‍යම ආනුභාව ඇත්තාවූ යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ පහත්වූ යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ පහත් යක්ෂයෝත් ඇත්තාහුමය.
ස්වාමීනි, බොහෝ සෙයින් යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. සොරකම් කිරීමෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. බොරු කීමෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. මත් බවට හා ප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්ෂයෝ සතුන් මැරීමෙන් නොවැළක්කාහුමය. සොරකම් කිරීමෙන් නොවැළක්කාහුමය. කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළක්කාහුමය. බොරු කීමෙන් නොවැලක්කාහුමය. මත්බවට ප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් නොවැළැක්කාහුමය. ඒ යක්ෂයන්ට ඒ ධර්මදේශනාව අප්‍රිය වේ. හිත් සතුටු වන්නේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූද ගම් සීමාව ඉක්මවූ වන සේනාසනවූද (කැලෑවෙහි) ඉතා දුරවූද නිශ්ශබ්ද වූද කලබල නැත්තාවූද මිනිසුන්ගෙන් තොරවූ සුලඟ ඇත්තාවූද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූද, හිත එකඟකර ගැනීමට සුදුසුවූද, සේනාසනයන් (වසනතැන්) සේවනය කරති. ඒ තන්හි නිතර වාසය කරන්නාවූ මහා බලසම්පන්නවූ යක්ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහුද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්ෂූන්ගේද භික්ෂුණීන්ගේද උපාසකවරුන්ගේද උපාසිකාවන්ගේද පාලනය පිණිසද ආරක්ෂාව පිණිසද, වෙහෙස නොවන පිණිසද, පහසු හැසිරීම පිණිසද භාග්‍යවතුන් වහන්සේ (ආටානාට නම් නගරයෙහි බඳින ලද හෙයින්) මේ ආටානාටිය (නම්වූ) පිරිත පිළි ගත මැනව”යි දැන්වූයේය.
3. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළි ගත්හ. එවිට වෙසවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළි ගැණීම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.
4. “පසැස් ඇත්තාවූ සොභාමත්වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
සියලු සත්වයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්තවූ සිඛී නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
“කෙලෙස් විනාස කළාවූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
මාරයන් යටත් කළාවූ කකුසද නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
“සියලු පව් අහක් කළාවූ වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යය ඇති, කොනාගමන නම් සර්වඥයන් වහන්සේට නමස්කාරවේවා
“සියලු කෙලෙසුන්ගෙන් මිදුනාවූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.