පාඨික වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
1.
පාථික සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලරට අනුපිය නම්වූ මල්ලරජුන්ගේ නියම් ගම වැඩවාසය කළෝය.
එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳපොරවා ගෙන පාත්‍රයද රැගෙන අනුපිය නම් නියම් ගමට පිඩු පිණිස පැමිණියෝය. එකල භාග්‍යවතුන්වහන්සේට මෙබඳු සිතෙක් පහළවිය, අනුපිය නම් නියම් ගමට පිඩු පිණිස යාම සඳහා තවකල් වැඩිය. (එබැවින්) මම භාර්ගවගොත්‍ර පිරිවැජියාගේ ආරාමය යම් තැනකද භාර්ගවගොත්‍ර පිරිවැජි තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියෙම් නම් ඉතා යෙහෙකැයි’සිතීය.
2. ඉක්බිති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාර්ගවගොත්‍ර පරිබ්‍රාජකයාගේ ආරාමය යම් තැනකද එනම් පිරිවැජි තෙමේ යම් තැනකද එහි පැමිණියෝය. එකල භාර්ගවගොත්‍ර පිරිවැජිතෙමේ භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙහි පැමිණෙත්වා, ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේගේ පැමිණීම යහපත් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ බොහෝ කලකින් මෙහි පැමිණියාහුය. ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස, මේ ආසනය පනවන ලද්දේය, මෙහි වැඩහිඳිනු මැනවැයි පිරිවැජි තෙමේ තමාගේ ආසනය පනවා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩහුන්නෝය. (එසේ වැඩහුන්කල) භාර්ගවගොත්‍ර පිරිවැජියාද එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය.
3. එක පැත්තක හුන්නාවූ භාර්ගවගොත්‍ර පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
“ස්වාමීනි, පසුගිය දවසෙක වනාහි සුනක්ඛත්ත නම් ලිච්ඡවිපුත්‍රයා මම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ මට මෙසේ කීයේය. භාර්ගවය, මා විසින් දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවත්කරන ලද්දාහ. මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය නොකරමියි’ කීයේය. ස්වාමීන් වහන්ස, කිමෙක්ද? මේ කාරණය සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍රයා කී සේ වූවක්දැයි” ඇසුවේය.
4. භාර්ගවය, මේ කාරණය සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා යම්සේ කීයේද එසේ වූයේය. භාර්ගවය, පසුගිය දවසෙක වනාහි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා මම යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ මට වැඳ එකපැත්තක හුන්නේය. භාර්ගවය, එකත්පසෙක හුන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රතෙමේ මට මෙසේ කීය. “ස්වාමීන් වහන්ස, දැන් මම භාග්‍යවතුන් වහන්සේ අත් හැර දමමි. ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය නොකරන්නෙමියි” කීය. භාර්ගවය, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා මෙසේ කී කල්හි මම සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මෙසේ කීමි.
“කිමෙක්ද, සුනක්ඛත්තය මම තාහට මාගේ ශ්‍රාවකයෙක්ව වාසය කරවයි කීයෙම්ද?”
“ස්වාමීන් වහන්ස, එබඳු කීමක් නැතැයි” කීය,
“තෝ වනාහි මට “ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ව වාසය කරන්නෙමි”යි කීයෙහිද?
“ස්වාමීන් වහන්ස, එබන්දක් නොකීමී”යි කීය.
“සුනක්ඛත්තය, මෙසේ මම තාහට “එව තෝ මාගේ ශ්‍රාවකයෙක්ව වාසයකරව”යි නොකීයෙම් නම්, තෝද “ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ව වාසය කරන්නෙමි”යි මට නොකීයෙහි නම්, හිස් පුරුෂය, කවරෙක් කවරෙකු ඉවත් කරන්නේදැයි ඇසීමි. හිස් පුරුෂය, තාගේ මේ අපරාධය කොතරම් මහත්ද කියා බලවය”යි කීමි.
5. ඉන් පසු හෙතෙම ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් තෙමේ මා හට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම නොකරන්නේයයි” කීය.
“කිමෙක්ද? සුනක්ඛත්තය, මම තා හට “සුනක්ඛත්තය, එව තෝ මාගේ ශ්‍රාවකභාවයට පැමිණ වාසය කරව මම තාහට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නෙමි”යි කීයෙම්දැයි ඇසීමි.