10.
සංගීති සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්යවතුන් වහන්සේ මල්යජනපදවල ගමන් කරනුයේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයා සමග මල්යයන්ගේ පාවා නම් නුවර යම් තැනකද එතැනට පැමිණියෝය. එහි භාග්යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද නම් කර්මාර පුත්රයාගේ අඹ උයනෙහි වාසය කරති.
2. එකල පාවා නුවර වැසි මල්යයන්ගේ උබ්භතක නම් අළුත්වූ නොබෝ දින කරවන ලද්දාවූ මහණෙකු විසින් හෝ බමුණකු විසින් හෝ කිසියම් මිනිසෙකු විසින් වාසය නොකරන ලද සන්ථාගාර ශාලාවක් වෙයි. “භාග්යවතුන් වහන්සේ වනාහි මල්ය ජනපදවල ගමන් කරණුවෝ, පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයා සමග පිළිවෙලින් පාවා නුවරට වැඩිසේක් පාවා නුවර චුන්ද නම් කර්මාරපුත්රයාගේ අඹඋයනෙහි වාසය කරති”යි පාවා නුවර වැසි මල්යයෝ ඇසුවාහුය. එකල්හි පාවානුවර වැසි මල්යයෝ භාග්යවතුන් වහන්සේ වැඩසිට තැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට හොඳින් වැඳ එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ පාවානුවර වැසි මල්යයෝ භාග්යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. ස්වාමීනි, මෙහි පාවානුවර වැසි මල්යයන්ගේ උබ්භතක නම්වූ අළුත් සන්ථාගාරය (නුවර මැද කරවණ ලද ශාලාව) නොබෝ දින කරවන ලද්දේ වෙයි. මහණෙකු විසින් හෝ බමුණකු විසින් හෝ කිසියම් මිනිසකු විසින්, වාසය නොකරන ලද්දේය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ එය පළමුකොට පරිභොග කරත්වා. (පාවිච්චි කරත්වා) භාග්යවතුන් වහන්සේ විසින් පළමුකොට පරිභොග කරනලද සන්ථාගාරය පසුව පාවා නුවර වැසි මල්යයෝ පරිභොග කරන්නාහුය. එය පාවා නුවර වැසි මල්යයන්ට බොහෝ කලක් හිත සුව පිණිස වන්නේ ය”යි කීහ.
3. භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් ඉවසූසේක. ඉක්බිති පාවා නුවර වැසි මල්යයෝ භාග්යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණා කර (වටේ යමින් වැඳ) සන්ථාගාරය යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, සන්ථාගාරය සියළු තන්හි ඇතිරිලි එලා ආසන පනවා දිය සැළි තබා පහන් දල්වා භාග්යවතුන්වහන්සේ යම්තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකපැත්තක සිටියාහුය.
එකපැත්තක සිටියාවූ ඒ පාවානුවර වැසි මල්යයෝ, භාග්යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. “ස්වාමීනි, සන්ථාගාරය සියළු තන්හි ඇතිරිලි අතුරන ලදී. ආසන පනවන ලදී. දිය සැළි තබන ලදී. තෙල් පහන් දල්වන ලදී. ස්වාමීනි, දැන් එහි වැඩමවීමට සුදුසු කල් බව දැනගන්නා සේක්වා,”යි කීහ.
4. එවිට භාග්යවතුන් වහන්සේ හැඳ පෙරවා, පාත්රය හා සිව්රු ගෙණ භික්ෂු සංඝයා සමග සන්ථාගාරය යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, පා සෝදා සන්ථාගාරයට පිවිස ශාලාව මධ්යයෙහිවූ කණුවට පිටදී නැගෙනහිර දෙසට මුහුණ ලා වැඩ සිටියහ. භික්ෂු සංඝයාද පා සෝදා සන්ථාගාරයට ඇතුල්ව බස්නාහිර බිත්තියට පිට දී පෙර දිසාවට මුහුන ලා භාග්යවතුන් වහන්සේම ඉදිරියෙහි කොට උන්හ. පාවා නුවර වැසි මල්යයෝද පා සෝදා සන්ථාගාරයට ඇතුල්ව පෙරදිසාවෙහිවූ භිත්තිය නිසා (බස්නාහිර) දිගට මුහුනලා භාග්යවතුන්වහන්සේම ඉදිරියෙහි කොට උන්නාහුය. එකල්හි භාග්යවතුන් වහන්සේ පාවා නුවර වැසි මල්යයන්ට, රාත්රි බොහෝ වේලාවක්ම ධර්ම දේශනාකර කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, අතිශයින් සතුටු කරවා “වාසෙට්ඨයිනි, රාත්රිය බොහෝ ඉක්ම ගියාය. දැන් තොපට ගමනට සුදුසු කාලය හඟිව්” කියා පිටත්කර යැවූසේක. “එසේය ස්වාමීනි” කියා පාවා නුවර වැසි මල්යයෝ භාග්යවතුන් වහන්සේට උත්තර දී හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණාකර ගියාහුය.
5. ඉක්බිති භාග්යවතුන් වහන්සේ, පාවානුවර වැසි මල්යයන් පිටත්ව ගිය නොබෝ වේලාවකින් ඉතා නිශ්ශබ්දවූ භික්ෂු සංඝයා දෙස බලා, ආයුෂ්මත්වූ ශාරීපුත්ර ස්ථවිරයන්ට මෙසේ ආමන්ත්රණය කළසේක. “ශාරීපුත්රය, භික්ෂු සංඝතෙම පහවූ ථිනමිද්ධය ඇත්තේය (නිදිමත නැතිව සිටියි.) ශාරීපුත්රය, භික්ෂූන්ට සුදුසු දැහැමි කථාවක් තොපට වැටහේවා. මාගේ පිට රුදා කෙරෙයි. එහෙයින් මම කය දිග හරින්නෙමි”යි කීහ. “එසේය ස්වාමීනි” කියා ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
එකල්හි භාග්යවතුන් වහන්සේ දෙපට සිවුර හතරට නමා එලා, දකුණු පයෙහි වම්පය මදක් ඉක්මවා තබා, සිහි නුවණින් යුක්තව නැගිටිමි යන කල්පනාව සිත්හි තබාගෙන දකුණැලයෙන් සිංහසෙය්යාව කළසේක.