8.
සිගාලක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර වෙළුවනාරාමයෙහි වූ කලන්දකනිවාපයෙහි වැඩවසන සේක. එකල සිගාලක නම් ගෘහපති පුත්ර තෙම කල් ඇතිවම නැගිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත්වූ ඇඳුම් ඇතුව තෙත්වූ හිසකෙස් ඇතුව ඇඳිලිබැඳගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන් නමස්කාර කරන්නේය.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්රා සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩිය සේක. භාග්යවතුන් වහන්සේ කල් ඇතිවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත් වූ ඇඳුම් ඇතිව, තෙත්වූ හිස කෙස් ඇතිව ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය, යන බොහෝ දිසාවන් වඳින්නවූ සිගාලක නම් ගෘහපති පුත්රයා දකින ලදි. දැක සිගාලක නම් ගෘහපති පුත්රයාට මෙය වදාළ සේක: “ගෘහපති පුත්රය, නුඹ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව ඇදිලි බැඳ ගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන්ට කුමක් හෙයින් වඳින්නෙහිදැ”යි?
“ස්වාමීන් වහන්ස, මාගේ පියාණන් කලුරිය කරන කල්හි මට මෙසේ කීයේය: ‘දරුව, දිශාවන්ට නමස්කාර කරව’යි. ස්වාමීන් වහන්ස, ඒ මම පියාගේ වචනයට සත්කාර කරන්නේ, ගෞරව කරන්නේ, බුහුමන්කරන්නේ, පුදන්නේ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව, ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිශාවය, දකුණු දිශාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිශාවය යන බොහෝ දිශාවන්ට නමස්කාර කරමි”.
“ගෘහපති පුත්රය, ආර්ය්ය විනයෙහි මෙසේ සදිශාවෝ නොවැඳිය යුත්තාහුය”යි.
“ස්වාමීන් වහන්ස, ආර්ය්ය විනයෙහි කෙසේ නම් සදිසාවෝ වැඳිය යුත්තාහුද? ස්වාමීන් වහන්ස, ආර්ය්ය විනයෙහි සදිශාවෝ යම් පරිද්දකින් වැඳිය යුත්තාහුද, එපරිද්දෙන් භාග්යවතුන් වහන්සේ මට ධර්මය දේශනා කරන සේක්වා”යි.
සදිසාවෝ
3. එසේවී නම් ගෘහපති පුත්රය, අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි.
‘එසේය ස්වාමීන් වහන්ස’යි කියා සිගාලක ගෘහපති පුත්ර තෙම භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“ගෘහපති පුත්රය, යම් කලක පටන් ආර්ය්ය ශ්රාවකයාගේ කර්ම ක්ලෙශයෝ සතරදෙනා ප්රහීණ වෙත්ද, කරුණු සතරකින් පව්කම් නොකරයිද, භෝගයන්ගේ විනාශමුඛ සය සේවනය නොකරයිද, හෙතෙම මෙසේ දසසතර පාපයන්ගෙන් වෙන්වූයේ සදිසාවන් වසන ලද්දේ, දෙලොව ජය ගැනීම පිණිස පිළිපන්නේ වෙයි. ඔහු විසින් මෙලොවද ආරබ්ධ වෙයි, පරලොවද ආරබ්ධ වෙයි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුගති සංඛ්යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.
කර්ම ක්ලේශයෝ
4. ඔහු විසින් කවර නම් කර්ම ක්ලේශ සතරක් ප්රහීණ කරන ලද්දාහු වෙද්ද? ගෘහපති පුත්රය, ප්රාණඝාතය කර්ම ක්ලේශයකි. අදත්තාදානය කර්ම ක්ලේශයකි. කාම මිථ්යාචාරය කර්ම ක්ලේශයකි. මුසාවාදය කර්ම ක්ලේශයකි. මොහුගේ මේ කර්ම ක්ලේශ සතර ප්රහීණ වූවාහු වෙත්” යයි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගතයන් වහන්සේ නැවතද මේ ගාථාවන් වදාළ සේක:
“ප්රාණඝාතයද අදත්තාදානයද මුසාවාදයද යන යමක් කියනු ලැබේ නම් එයද, පරදාර සේවනයද යන මේවා පණ්ඩිතයෝ ප්රශංසා නොකරත්”.
අගතිගමන
5. කවර නම් කරුණු සතරකින් පව්කම් කරයිද? ඡන්දයෙන් (කැමැත්තෙන්) අගතියට යන්නේ පව්කම් කරයි, ද්වේෂයෙන් අගතියට යන්නේ පව්කම් කරයි, මෝහයෙන් අගතියට යන්නේ පව්කම් කරයි, භයින් අගතියට යන්නේ පව්කම් කරයි. ගෘහපති පුත්රය, යම් කලෙක ආර්ය්යශ්රාවකතෙම ඡන්දයෙන් අගතියට නොයයිද, ද්වේෂයෙන් අගතියට නොයයිද, මෝහයෙන් අගතියට නොයයිද, භයින් අගතියට නොයයිද, මේ කරුණු සතරින් පව්කම් නොකරයි” යයි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගතයන් වහන්සේ නැවතද මේ ගාථාවන් වදාළ සේක:
“යමෙක් ඡන්දයෙන්ද ද්වේෂයෙන්ද භයින්ද මෝහයෙන්ද ධර්මය ඉක්මවාද, අව පක්ෂයෙහි චන්ද්රයා මෙන් ඔහුගේ යසස පිරිහෙන්නේය.”