7.
ලක්ඛණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද දෙව්රම් වෙහෙර වාසය කරන්නාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළාහුය. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවාහුය:
මහණෙනි, මේ ලක්ෂණ දෙතිස මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයෝය. යම් ඒ ලක්ෂණවලින් යුක්තවූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක්ම වෙත්. අන් ගතියක් නොවන්නීය, ඉදින් (ඔහු) ගිහිගෙයි වාසය කෙරේද, සතර දිශාවට අධිපති වූයේ දිනූ රටවල් ඇත්තේ, ජනපදයන්හි ප්‍රධානයා වූයේ, රත්න සතකින් යුක්ත වූයේ, දැහැමි වූයේ, ධර්ම රාජයන්වූ සක්විති රජෙක් වෙයි. ඔහුට මේ රත්න හත වෙති ඒ කවරේද? චක්‍ර රත්නය, ඇත් රත්නය, අස් රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පරසේනාවන් මැඩිය හැකිවූ දෙව් පුතුන් හා සමානවූ ශරීර ඇති, සූරවූ දහසකට අධිකවූ පුත්‍රයෝ වෙති. හෙතෙම සයුර සීමාකොට වූ මේ පොළොව දඬුවම්කිරීම් නැතිව ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කෙරෙයි. ඉදින් (ඒ ලක්ෂණ ඇති) මහාපුරුෂයා ගිහිගෙන් නික්ම මහණ වේද, ලෝකයෙහි කෙලෙස් නමැති වැස්ම සිඳිනලද, අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි. මහණෙනි, මහා පුරුෂයාගේ ඒ දෙතිස් මහා පුරුෂලක්ෂණයෝ කවරහුද? යම් ලක්ෂණයන් ගෙන් යුක්තවූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක් වෙත්. අන්‍ය ගතියක් නැත? ඉදින් (ඔහු) ගිහිගෙයි වාසය කෙරේද, සක්විති රජ වෙයි. ඔහුට මේ රත්න හත වෙති. ඒ කවරේද? චක්‍ර රත්නය -පෙ- සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට සතුරු සේනාවන් මැඩිය හැකිවූ, දිව්‍ය පුත්‍රයන් හා සමානවූ ශරීර ඇති සූරවු දහසකට අධිකවූ පුත්‍රයෝ වෙති. හෙතෙම සාගරය කෙළවර කොටවූ මේ පොළොව දඬුවම් කිරීමක් නැතිව, ආයුධ රහිතව, ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි. ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වේද, ලෝකයෙහි කෙලෙස් නමැති වහල සිඳිනලද අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි.
2. මහණෙනි, මෙහි මහාපුරුෂ තෙමේ මනාකොට පිහිටි පාද ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් මහාපුරුෂ තෙමේ මනාකොට පිහිටි පා ඇත්තේ වේද, මහණෙනි, එයද මහා පුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි.
මහණෙනි, නැවතද මහාපුරුෂයාගේ යටි පතුල්වල දහසක් අර ඇති, නිම්වලලු සහිතවූ නැබ සහිතවූ, සියලු අයුරින් සම්පූර්ණවූ චක්‍රයෝ පහල වෙත්ද, මහණෙනි, මෙයද මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි.
මහණෙනි, නැවතද මහාපුරුෂ තෙමේ දික් විළුම් ඇත්තේ වෙයි. දිගඇඟිලි ඇත්තේවෙයි, මෘදුවූ තරුණවූ අතුල් පතුල් ඇත්තේවෙයි. දැල්කවුලුවකට බඳු සමවූ ඇඟිලි ඇති අත් පා ඇත්තේ වෙයි. පිරුණු ගොප් මස ඇති පා ඇත්තේ වෙයි. ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි. සිටගෙනම නොනැමී දෙ අත්තලවලින් දනහිස් අතගායිද, පිරිමදීද, කොෂය තුළ සැඟවුනු පුරුෂ ලක්ෂණ ඇත්තේ වෙයි. රන්වන්වූ හම ඇත්තේ වෙයි. සියුම් හම ඇත්තේ වෙයි, සියුම්වූ හම ඇති බැවින් දූලි කුණු ශරීරයෙහි නොඅල්ලන්නේ වෙයි. එක එක ලොම් ඇත්තේ වෙයි, රෝම කූපයන්හි එක් එක් රෝම හට ගත්තාහුය. උඩුකුරු අක්ඇති රෝම ඇත්තේ වෙයි, උඩු කුරුවූ ලොම් නිල්වන්ය, අඳුන්වන්ය. කෙලින් පිහිටි ශරීරය ඇත්තේ වෙයි. (දෙ පිටිපතුල් දෙ උරහිස්, කර යන) සත් තැන උස් වූයේ වෙයි. සිංහයෙකුගේ ශරීරයේ ඉදිරිපස මෙන් සම්පූර්ණ ශරීරයක් ඇත්තේ වෙයි. පිට දෙපැත්ත මැද පිරුණේ වෙයි. නුග රුකක්සේ වටවූ බව ඇත්තේ වෙයි. උන්වහන්සේගේ ශරීරය යම් පමණ වේද බඹයත් එපමණය. බඹය යම් පමණද ශරීරයත් එපමණය. සම වට බෙල්ල ඇත්තේ වෙයි. සත්සියයක් රසනහර ඇත්තේ වෙයි. සිංහයෙකුගේ යට හක්ක මෙන් සම්පූර්ණ උඩු යටි හකු දෙක ඇත්තේ වෙයි. සම සතලිස් දත් ඇත්තේ වෙයි, සම දත් ඇත්තේ වෙයි, සිදුරු නැතිවූ දත් ඇත්තේ වෙයි, දිලිසෙන ඉතා සුදු දත් ඇත්තේ වෙයි, මෘදු දික් පළල් දිව ඇත්තේ වෙයි, බ්‍රහ්මයාගේ මෙන් කටහඬ ඇත්තේ වෙයි. කුරවීක හඬ බඳු කටහඬ ඇත්තේ වෙයි. පිරිසිදු නිල්වන් පාට ඇස් ඇත්තේ වෙයි, උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු පැහැදුනු ඇස් ගුලි ඇත්තේ වෙයි. දෙ බැම අතර සුදුවූ මෘදුවූ පුලුන් පෙදක් වැනි දකුණට කරකැවී නළල මැද පිහිටි රෝමයක් වූයේ වෙයි. මහණෙනි, යම් හේතුවකින් මහපුරුෂයාගේ දෙබැම අතර සුදුවූ මෘදුවූ පුළුන් පෙදක් වැනි ඌර්ණරෝමයක් වූයේද මෙයද, මහණෙනි, මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි. මහණෙනි, නැවතද මහාපුරුෂ තෙමේ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇත්තේ වෙයි. මහණෙනි, මහපුරිස් තෙමේ යම් බඳුවූ සම්පූර්ණ හිස ඇත්තේ වේද, මෙයද මහණෙනි, මහාපුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වෙයි.