6.
පාසාදික සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දුනු ශිල්ප උගත් විදීම් ශාස්ත්‍රය දත් ශාක්‍යයෝ වූවාහුද ඔවුන්ගේ අඹ උයන තුළවූ ප්‍රාසාදයෙහි වැඩ වාසය කරති.
නිගණ්ඨනාටපුත්තකාලඞ්කිරියා
එකල නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නම් නුවරෙහිදී නොබෝදිනකට පෙර මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය. ‘තෝ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම, තෝ මේ ධර්ම විනය දන්නෙහිද? තෝ වරදවා පිළිපදින්නෙහිය. මම මනාකොට පිළිපදින්නෙමි. මාගේ වචන අර්ථ සහිත වන්නේය. තාගේ වචන අර්ථ රහිත වන්නේය. පළමුව කියයුත්ත පසුව කීයේය. පසුව කියයුත්ත පළමුව කීයේය. තා විසින් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නැවතුනේය. තා විසින් වාදය නංවන ලද්දේය. තාගේ මත්තෙහි මා විසින් දෝෂය නංවන ලද්දේය. බත් මුලක් රැගෙන ඒ ඒ අය කරා එළඹ වාදයෙන් මිදීම පිණිස උත්තර සොයමින් හැසිරෙව. ඉදින් හැකි වන්නෙහි නම් මා විසින් නගනලද දෝෂයෙන් තමන් මුදා ගන්නෙහිය. නිගණ්ඨනාත පුත්‍රයන් කෙරෙහි එක් මරණයෙක් වන්නේයයි හඟිමියි,’ කියන්නාහුය. ගිහි වස්ත්‍ර හඳනා ලද අනුව පවත්නාවූ නිගණ්ඨනාථ පුත්‍රයාගේ යම්බඳු ගිහි ශ්‍රාවකයෝ වෙද්ද ඔව්හුද ඒ නිගණ්ඨනාථ පුත්‍ර ශ්‍රාවකයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව නොඇලුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන්ද වැළකුණාහුය. නොමනාව ප්‍රකාශ කරන ලද්දාවූ නොමනා දැනීම් ඇත්තාවූ නිවනට නොපමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දේශනා නොකරන ලද්දාවූ ධර්ම විනයෙහි පිහිට බිඳීගියාවූ පිළිසරණක් නැත්තාහු යම්සේද එසේ වූහ.
2. එකල්හි චුන්ද ස්ථවිර තෙමේ පාවා නුවර වස්වසා නිමවන ලද වස් ඇත්තේ සාම නම් ගම යම් තැනෙක්හිද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නේය. එකපැත්තක හුන්නාවූ චුන්දස්ථවිර තෙමේ ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. “ස්වාමීන් වහන්ස, නොබෝදා නිගණ්ඨනාත පුත්‍රතෙමේ පාවා නුවරෙහිදී මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳී ගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විරුද්ධ වාදයට පැමිණියාහු, ඔවුනොවුන් අතර මුඛ නමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය. ‘තෝ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම තෝ මේ ධර්ම විනය දන්නෙහිද? තෝ වරදවා පිළිපදින්නෙහිය. මම මනා කොට පිළිපදින්නෙමි. මාගේ වචන අර්ථ සහිත වන්නේය. තාගේ වචන අර්ථ රහිත වන්නේය. පෙරටුව කියයුත්ත පසුව කීයේය. පසුව කියයුත්ත පෙරටුව කීයේය. තා විසින් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නැවතුනේය. තා විසින් වාදය නංවන ලද්දේය. තාගේ මත්තෙහි මා විසින් දෝෂය නංවන ලද්දේය. බත්මුලක් රැගෙන ඒ ඒ අය කරා එළඹ වාදයෙන් මිදීම පිණිස උත්තර සොයමින් හැසිරෙව. ඉදින් හැකි වන්නෙහි නම් මා විසින් නගනලද දෝෂයෙන් තමන් මුදාගන්නෙහිය. නිගණ්ඨනාත පුත්‍රයන් කෙරෙහි එක් මරණයෙක් වන්නේයයි හඟිමියි කියන්නාහුය. ගිහි වස්ත්‍ර හඳනාලද අනුව පවත්නාවූ නිගණ්ඨනාත පුත්‍රයාගේ යම් බඳු ගිහි ශ්‍රාවකයෝ වෙද්ද ඔව්හු ඒ නිණ්ඨනාත පුත්‍ර ශ්‍රාවකයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව නොඇලුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන්ද වැළකුනාහුය. අයහපත්කොට ප්‍රකාශකරන ලද්දාවූ නොමනා දැනීම් ඇත්තාවූ නිවනට නොපමුණු වන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක්සම්බුදුරජුන් විසින් දේශනා නොකරන ලද්දාවූ ධර්මවිනයෙහි පිහිට බිඳී ගිය පිළිසරණක් නැති කල යම්සේද එසේ වූහයි කීය.” මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ චුන්දස්ථවිරයන්ට මෙය කීයේය. “ඇවැත් චුන්දය, භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ කථා පඬුර ඇත්තේය. ඇවැත් චුන්දය, යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණෙන්නෙමු. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු දන්වන්නෙමුය”යි කීහ.
“එසේය, ස්වාමීන් වහන්සැ”යි කියා චුන්ද ස්ථවිර තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය. එකල ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද, චුන්දස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමුණුනාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය.“ ස්වාමීන්වහන්ස, මේ චුන්දස්ථවිර තෙමේ මෙසේ කීයේය. ‘ස්වාමීන් වහන්ස, නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නම් නුවර මේ නොබෝදා මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු නිගණ්ඨයෝ දෙකොටසක්ව බිඳී ගොස් හටගත් ඩබර ඇතිව හටගත් කලහ ඇතිව විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය. ‘තෝ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි. කිම තෝ මේ ධර්මවිනය දන්නෙහිද? තෝ වරදවා පිළිපදින්නෙහිය. මම යහපත්ව පිළිපදින්නෙමි. මාගේ වචන අර්ථ සහිත වන්නේය. තාගේ වචන අර්ථ රහිත වන්නේය. පළමුව කියයුත්ත පසුව කීයේය. පසුව කියයුත්ත පළමුව කීයේය. තා විසින් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නැවතුනේය. තා විසින් වාදය නංවන ලද්දේය, තාගේ මත්තෙහි මා විසින් දෝෂය නංවන ලද්දේය. බත් මුලක් රැගෙන ඒ ඒ අය කරා පැමිණ වාදයෙන් මිදීම පිණිස උත්තර සොයමින් හැසිරෙව. ඉදින් හැකි වන්නෙහි නම් මා විසින් නගනලද දෝෂයෙන් තමා මුදා ගන්නෙහිය. නිගණ්ඨනාත පුත්‍රයන් කෙරෙහි එක් මරණයෙක් වන්නේය’ යි හඟිමියි කියන්නාහු ගිහිවස්ත්‍ර හඳනාලද අනුව පවත්නාවූ නිගණ්ඨනාත පුත්‍රයාගේ යම්බඳු ගිහි ශ්‍රාවකයෝ වෙත්ද ඔව්හුද ඒ නිගණ්ඨනාත පුත්‍ර ශ්‍රාවකයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව නො ඇලුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන්ද වැළකුණාහුය. අයහපත්ව ප්‍රකාශකරන ලද්දාවූ අයහපත් දැනීම ඇත්තාවූ නිවනට නොපමුණු වන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දේශනා නොකරන ලද්දාවූ ධර්මවිනයෙහි පිහිට බිඳී ගියාහු පිළිසරණක් නැත්තෝ වූවාහුයයි දැන්නුවේය.
අසම්මාසම්බුද්ධප්පවෙදිතධම්මවිනයො
3. එවිට භාග්‍යවතුන් වහන්සේ චුන්දය, මේ කාරණය මෙසේම වන්නේය. අයහපත්ව ප්‍රකාශකළාවූ අයහපත් දැනුම් ඇත්තාවූ නිවනට නොපමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුදුරජුන් විසින් ප්‍රකාශ නොකළාවූ ධර්මවිනයෙහි මෙසේ වන්නේයයි වදාළේය. “චුන්දය, මේ ලෝකයෙහි ශාස්තෘ තෙමේ සම්‍යක් සම්බුද්ධ නුවූයේ වේද, ධර්මය අයහපත් කොට ප්‍රකාශ කරන ලද්දේ වේද, අයහපත් කොට දන්නා ලද්දේ වේද, නිවනට නොපමුණුවයිද, කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නේද, සම්‍යක් සම්බුදුරජ විසින් දේශනා නොකරණ ලද්දේ වේද, ශ්‍රාවක තෙමේද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොපිළිපදින්නේද සාමීචි ප්‍රතිපත්තියෙහි (සුදුසු පිළිවෙතෙහි) නොපිළිපදින්නේද ධර්මය අනුව නොහැසිරෙන්නේද, ඒ ධර්මයෙන් ඉවත්ව පවතීද,