5.
සම්පසාදනීය සූත්‍රය
සාරිපුත්තසීහනාදො
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලාන්දාවෙහි, පාවාරික අඹ උයනෙහි වැඩ වාසය කළාහුය. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුනෙමි. සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ අන්‍ය බ්‍රාහ්මණයෙක් හෝ පෙර නොවීය. අනාගතයෙහිත් නොවන්නේය. දැන් ද නොවෙයි” යනුවෙනි.
“ශාරීපුත්‍රය, තා විසින් මහත්වූ නිර්භීත වචනයක් කියන ලදී. ඒකාන්ත වචනයක් කියන ලදී. සිංහනාදයක් කරණ ලදී. සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ අන්‍ය බ්‍රාහ්මණයෙක් හෝ පෙර නොවීය. අනාගතයෙහිත් නොවන්නේය. දැනුදු නැතැයි. මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි යනුවෙනි. කිම ශාරිපුත්‍රය, අතීත කාලයෙහි වැඩ සිටි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ යම් ඒ බුදුවරයෝ වූවාහුද, ඒ සියලු බුදුවරයන්ගේ සිත් නුඹගේ සිතින් දැන මෙසේ ප්‍රකාශ කෙළෙහිද? ‘මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ධර්ම ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා අත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු හැසිරීම් ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා කෙලෙසුන් කෙරෙන් මිදුනාහුය’යි ඒ සියලු බුදුවරයන්ගේ සිත් නුඹගේ සිතින් දැන මෙසේ ප්‍රකාශ කරන ලද්දේද?’
“නැත ස්වාමීනි,”
“කිම ශාරීපුත්‍රය, අනාගතයෙහි පහළවන්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ යම් ඒ බුදුවරු වෙත්ද, මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ධර්ම ඇත්තෝය, මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු හැසිරීම් ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා කෙලෙසුන් කෙරෙන් මිදුනාහු යයි, ඒ සියලු බුදුවරයන්ගේ සිත් නුඹගේ සිතින් දැන මෙසේ කියන ලද්දේද?”
“නැත ස්වාමීනි.”
“කිම ශාරිපුත්‍රය, මම මෙකල්හි අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙමි. මේ කාරණයෙන්ද භාග්‍යවතුන් වහන්සේ මෙබඳු සිල් ඇත්තෙක. මේ කාරණයෙන්ද මෙබඳු ධර්ම ඇත්තෙක. මෙබඳු ප්‍රඥා ඇත්තෙක. මෙබඳු හැසිරීම් ඇත්තෙක මේ කාරණයෙන්ද භාග්‍යවතුන් වහන්සේ මෙසේ කෙලෙසුන් කෙරෙන් මිදුනේ යයි’ තමන්ගේ සිතින් මගේ සිත දැන ප්‍රකාශ කරණ ලද්දේද?”
“නැත ස්වාමීනි,”
“ශාරිපුත්‍රය, එසේ නම් පසුගිය කාලයේත් මතු එන කාලයේත්, මේ කාලයේත් යන තුන් කල්හි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා කෙරෙහි චෙතොපරියඤාණය (සිතින් සිත දැන ගැණීමේ නුවණ) නුඹට නැත. ‘සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ අන්‍යබ්‍රාහ්මණයෙක් හෝ පෙර නොවීය. අනාගතයෙහිත් නොවන්නේය. දැනුදු නොවෙයි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුනෙමී’ කියා ශාරිපුත්‍රය, නුඹ කෙසේ නම් මහත්වූ භය නැති වචනය කියන ලද්දේද? ඒකාන්ත කොට කියන ලද්දේද? සිංහනාද කරණ ලද්දේද?”
“ස්වාමීනි, තුන්කාලය පිළිබඳ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා කෙරෙහි ඒ චෙතොපරියඤාණය (සිතින් සිත දැන ගැණීමේ නුවණ) මට නැත. ස්වාමීනි, එතකුදුවුවත් මවිසින් ධර්මයට අනුව දැනගන්නා ලදී. ස්වාමීනි, රජුගේ ස්ථිරප්‍රාකාර පාද ඇති, ශක්තිමත් ප්‍රාකාර තොරන් ඇති, එක් දොරක් ඇති, ප්‍රත්‍යන්තයෙහිවූ නුවරක් වේද? එහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැත්තාවූ, නොහඳුනන්නන් වළක්වන්නාවූ, හඳුනන්නවුන්, ඇතුල් කරන්නාවූ දොරටුපාල (මුරකාර) යෙක් වන්නේය. හෙතෙමේ ඒ නගරයාගේ හාත්පස ප්‍රාකාර මාර්ග පරීක්ෂා කරමින් හැසිරෙන්නේ ප්‍රාකාර සන්ධිය හෝ, ප්‍රාකාර සිදුරක් හෝ යටත් පිරිසෙයින් බළලකු නික්මෙන පමණ සිදුරකුදු නොදක්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. යම්කිසි ලොකු සත්වකෙනෙක් මේ නුවරට ඇතුල්වීම හෝ පිටවීම කෙරෙත්ද? ඒ සියල්ලෝම මේ දොරින්ම ඇතුල් හෝ වන්නෝය පිට හෝ වන්නෝය’ කියායි. ස්වාමීනි, එපරිද්දෙන්ම මවිසින් ධර්මයට අනුව මේ කාරණය දැනගන්නා ලද්දේය. ස්වාමීනි, අතීතකාලයෙහි අර්හත්වූ, යම් ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා වූවාහුද, ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කිළිටි කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ පඤ්චනීවරණයන් (කුසල් වැලැක්වීම් පහ) දුරුකොට, සතර සතිපට්ඨානයන්හි (සිහිය පිහිටුවීම් සතර) හොඳින් පිහිටුවන ලද සිත් ඇත්තාහු, සප්ත බොධ්‍යාඩ්ග ධර්මයන් (මාර්ග ඥානයට හේතුවන අඩ්ග සත) තත්වූ පරිදි වඩා ඉතා උතුම් සම්‍යක් සම්බොධිය අවබෝධ කළාහුය.