4.
අග්ගඤ්ඤ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ මිගාර මාතෘ ප්‍රාසාද නම් පූර්වාරාමයෙහි වැඩවසන්නාහ. එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමණෙර දෙනම භික්ෂු භාවය බලාපොරොත්තුවෙමින් භික්ෂූන් සමීපයෙහි වෙසෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිට ප්‍රාසාදයෙන් බැස (ඊට නැගෙනහිර දික්හි) පහයෙහි සෙවනැල්ල පවත්නා පසුභාගයෙහි අවකාශස්ථානයෙක සක්මන් කළහ. වාසෙට්ඨ නම් සාමණෙර තෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියාවූ, පහයෙන් බැස ප්‍රාසාද සෙවනැල්ල පවත්නා අවකාශස්ථානයෙක්හි සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාරද්වාජ නම් සාමණේර නමට කථා කළේය. කථා කොට “ආයුෂ්මත් භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගීසිට පහයෙන් බැස ප්‍රාසාද සෙවනැල්ල පවත්නා අවකාශස්ථානයෙහි සක්මන් කරන්නාහුය. ආයුෂ්මත් භාරද්වාජය, (අපි) යමු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි පැමිණෙන්නෙමු. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ධර්ම කථාවක් අසන්නට ලබන්නෙමු නම් ඉතා යහපතැ”යි කීය. “ඇවැත්නි, එසේය”යි භාරද්වාජ තෙමේ වාසෙට්ඨ හට උත්තර දුන්නේය. එවිට වාසෙට්ඨ භාරද්වාජ දෙදෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨහට කථාකොට මෙසේ කීවාහුය. “වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවහුය. බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූවහුය. බ්‍රාහ්මණ කුලයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි මහණ වූවහුය. වාසෙට්ඨය, කිම? (අන්‍ය) බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙද්ද? හෙළාදැකීම නොකෙරෙද්ද?”
“ස්වාමීන් වහන්ස, එකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති. පරිභව කෙරෙති. තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නොවූ කථාවෙන් හෙළා දැකීම කෙරෙති”යි කීය.
“වාසෙට්ඨය, බ්‍රාහ්මණයෝ තොපට ඒ කෙසේ නම් තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නුවූ කථාවෙන් අපහාස කෙරෙද්ද? පරිභව කෙරෙද්ද?”
“ස්වාමීනි, බ්‍රාහ්මණයෝ මෙසේ කියති: ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. බ්‍රාහ්මණයෝම ශුද්ධ වෙති. බ්‍රාහ්මණ නුවූවෝ ශුද්ධ නොවෙති. බමුණෝම මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළ වූවාහුය (ඔහු විසින්) හෘදයෙහි තබා වඩන ලද්දාහුය. නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුණාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වංශය හැරපියා හීනවූ මාර පක්ෂයෙහිවූ බඹහුගේ පාදයෙන් උපන්නාවූ අපිරිසිදුවූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම්වූ යම් ඒ හීන වංශයකට පැමිණීමක් ඇද්ද මහබඹහුගේ පාදයෙන් උපන්නාවූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම්වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි.” ස්වාමීනි, බමුණෝ මෙසේ අපට තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නුවූ කථාවෙන් අපහාස කෙරෙති. පරිභව කෙරෙති.
“වාසෙට්ඨය, ඒකාන්තයෙන් තොපගේ බ්‍රාහ්මණයෝ මුල සිහි නොකරමින් මෙසේ කියති. එනම්: ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේ වෙයි. අන්‍යයෝ පහත් වංස ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංස ඇත්තේ වෙයි. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝයි. බ්‍රාහ්මණයෝම මහාබ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළ වූවාහුය. (ඔහු විසින්) හෘදයෙහි තබා වඩන ලද්දාහුය. නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුනාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය’ කියායි. වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප්වූද, දරුගැබ් ඇත්තාවූද, දරුවන් වදන්නාවූද, දරුවන්ට කිරි පොවන්නාවූද, බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යොනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. -පෙ- බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය කියායි. ඔහු තුමූ බ්‍රහ්මයාටද බොරුවෙන් හෙළාදකිත්. බොරුද කියත්. බොහෝ පව්ද රැස්කර ගනිත්.
චාතුවණ්ණසුද්ධි
3. “වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්කරුවෝය) කියායි. වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්ෂත්‍රියයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂවචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි. “වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසු වෙද්ද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද ඒ ධර්මයෝ සමහර ක්ෂත්‍රියයෙකු කෙරෙහිද දක්නා ලැබෙත්. “වාසෙට්ඨය, සමහර බ්‍රාහ්මණයෙක්ද -පෙ- වාසෙට්ඨය, සමහර වෛශ්‍යයෙක්ද -පෙ- වාසෙට්ඨය, සමහර ශුද්‍රයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. -පෙ- මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි. වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, -පෙ- අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හාකරණ ලද්දාහු වෙත්ද ඒ ධර්මයෝ සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.