3.
චක්කවත්ති සීහනාද සූත්රය
1. එවං මෙ සුතං: මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ මගධරට මාතුලා නම් ගමෙහි වැඩවාසය කළාහුය. එකල භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළෝය. භික්ෂූන් වහන්සේලාද ‘ස්වාමීන් වහන්ස’ යයි භාග්යවතුන් වහන්සේට උත්තර දුන්නෝය. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, තමන්ම ආරක්ෂාස්ථාන කොට තමන්ම පිහිට කොට වාසය කරව්, එයින් අනෙක් පිහිටක් නැත්තෝව වසවු. ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිට කොට වසව්, එයින් අනෙක් සරණක් නැත්තෝව වසව්. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිට කොට අනෙක් සරණක් නැතිව, ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මය පිහිට කොට අනෙක් සරණක් නැතිව වාසය කෙරේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලන්නෙක්ව, කෙළෙස් තවන විර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව, ස්කන්ධ ලෝකයෙහි ඇලීමත් මානසික දුකක් දුරලා වාසය කෙරේ. වේදනාවන්හි වේදනා අනුව බලන්නෙක්ව -පෙ- සිතෙහි සිත අනුව බලන්නෙක්ව -පෙ- ධර්මයන්හි ධර්ම අනුව බලන්නෙක්ව කෙළෙස් තවන වීර්යය ඇතිව යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා වාසය කෙරේ. මහණෙනි, මහණ තෙමේ තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිටකොට, අන්ය පිහිටක් නැතිව ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිටකොට අන්පිහිටක් නැතිව මෙසේ වාසය කරන්නේය.
මහණෙනි, පියාගෙන් තමන්ට උරුමව පැමිණි හැසිරිය යුතු ප්රදෙශයෙහි හැසිරෙව්. සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්රදෙශයෙහි හැසිරෙන්නවුන්ගේ සිදුරක් මාර තෙමේ නොලබන්නේය. මාර තෙමේ අරමුණක් නොලබන්නේය. මහණෙනි, මෙසේ කුශල ධර්මයන්ගේ සමාදානය හේතුකොට ගෙන පින් වැඩෙන්නේය.
2. මහණෙනි, පෙර ධාර්මිකවූ, ධර්මරාජන්වූ, මහාද්වීප සතරට අධිපතිවූ, දිනන ගති ඇති ජනපදයෙහි ස්ථිරභාවයට පැමිණියාවූ රත්න හතකින් යුක්තවූ “දළ්හනෙමී” නම් චක්රවර්ත්ති රජෙක් වීය. ඔහුට මේ රත්න හත වූහ. කවරහුද? යත්: චක්රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්ය රත්නය, ස්ත්රීරත්නය, ගෘහපතිරත්නය, සත්වැනිවූ පරිණායක රත්නයද යන මොව්හුයි. ඒ රජුට ශූරවූ, දිව්ය පුත්රයන්ට සමාන ශරීර ඇත්තාවූ, සතුරු සේනාවන් මර්දනය කරන්නාවූ දහසකටත් වැඩි පුත්රයෝ වූහ. හෙතෙමේ සාගරය අවසානකොට ඇති මේ පොළොව දඬුවම් කිරීමක් නැතිව, ධර්මයෙන් සමගියෙන් දිනා වාසය කළේය. මහණෙනි, එවිට “දළ්හනෙමී” රජතෙමේ බොහෝ අවුරුදු ගණනක් බොහෝ අවුරුදු සියගණනක් බොහෝ අවුරුදු දහසක් ඉක්මීමෙන් පසු එක්තරා පුරුෂයෙකුට කථා කළේය. කථාකොට ‘පින්වත් පුරුෂය, නුඹ දිව්ය චක්රරත්නය තුබුණු තැනින් මඳක් හෝ මුළුමනින් හෝ යම් දිනක ඉවත් වූවොත් මට දන්වව’යි කීයේය. ඒ පුරුෂයාද දෙවයන් වහන්ස, එසේයයි පිළිතුරු දුන්නේය. මහණෙනි, ඒ පුරුෂ තෙමේ බොහෝ අවුරුදු ගණනක්, බොහෝ අවුරුදු සිය ගණනක්, බොහෝ අවුරුදු දහස් ගණනක් ඉක්මීමෙන් පසු දිව්ය චක්රරත්නය තුබුණු තැනින් ස්වල්පයක් ඉවත්වූ බව දුටුවේය. දැක, දළ්හනේමි රජු කරා ගොස් “පින්වත් දෙවයන් වහන්ස, ඔබ වහන්සේගේ දිව්ය චක්ර රත්නය තුබූ තැනින් ඉවත්වූ බව දන්නවාදැයි ඇසීය.
3. මහණෙනි, එවිට දළ්හනෙමි රජ තමාගේ වැඩිමහළු පුත්රයාට කථා කොට මෙසේ කීවේය: “පුත්ර කුමාරය, මාගේ දිව්යචක්රරත්නය තුබූ තැනින් ඉවත් වූයේය. යම් සක්විති රජකුගේ දිව්ය චක්රරත්නය තුබූ තැනින් ඉවත් වූවොත් ඒ රජු වැඩිකල් ජීවත් නොවන බව මා අසා තිබේ. මම මනුෂ්යයන්ට අයිති කම් සැප අනුභව කෙළෙමි. දැන් දිව්යමය කම්සැප සෙවීමට කාලයයි. පුත්රය, මෙහි එව. මේ සමුද්රය අවසාන කොට ඇති පොළොව පාලනය කරව. මම කෙස් රැවුල් කප්පවා, කසා වස්ත්ර හැඳ, ගිහි ගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ වන්නෙමි.” මහණෙනි, ඉක්බිති දළ්හනෙමී රජ තෙමේ වැඩිමහල් පුත්රයා මනා කොට රාජ්යයෙහි පිහිටුවා, කෙස් රැවුල් කප්පවා කසා වස්ත්රය හැඳ, ගිහි ගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ විය.