2.
උදුම්බරික සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කළ සේක. එකල්හි නිග්රොධ පරිබ්රාජක තෙමේ තුන් සියයක් පමණ මහත් පිරිවැජි පිරිසක් සමග උදුම්බරිකා පිරිවැජි ආරාමයෙහි වාසය කළේය. ඉක්බිති සන්ධාන ගෘහපති තෙමේ දවල් කාලයෙහි භාග්යවතුන් වහන්සේ දැකීම පිණිස රජගහ නුවරින් නික්මුණේය. එකල්හි සන්ධාන ගෘහපති හට මේ අදහස විය: ‘භාග්යවතුන් වහන්සේ දැකීමට මේ සුදුසු කාලය නොවෙයි, භාග්යවතුන් වහන්සේ දැන් විවේකීව වැඩ වසන සේක. මනොභාවනීය භික්ෂූන් වහන්සේලා දැකීමටත් මේ සුදුසු කාලය නොවෙයි. මනොභාවනීය භික්ෂූහු විවේකීව වැඩ වසති. මම උදුම්බරික පිරිවැජි ආරාමයෙහි නිග්රොධ පරිබ්රාජකයා වෙත යන්නෙම් නම් යෙහෙකි’ යි.
2. එකල්හි සන්ධාන ගෘහපති තෙමේ උදුම්බරික පිරිවැජි ආරාමයෙහි නිග්රොධ පරිබ්රාජකයා වෙත පැමිණියේය. එකල්හි නිග්රොධ පරිබ්රාජක තෙමේ මහත් පිරිවැජි පිරිස සමග මහහඬින් උස් හඬින් ඝෝෂා කරමින් නොයෙක් විදියේ තිරශ්චීන කථා (පහත් කථා) කියමින් හුන්නේය. එනම්: රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහාමාත්යයන් පිළිබඳ කථාය, සේනාවන් පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පාන වර්ග පිළිබඳ කථාය, වස්ත්ර පිළිබඳ කථාය, සයන පිළිබඳ කථාය, මල්මාලා පිළිබඳ කථාය, ගන්ධ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, කුම්භට්ඨාන (පැන් තොටු) පිළිබඳ කථාය, මළගියවුන් පිළිබඳ කථාය, නානත්ව කථාය, ලොකායත කථාය, සමුද්රය පිළිබඳ කථාය, භවාභව කථාය යනුයි. නිග්රොධ පරිබ්රාජක තෙමේ දුරදීම එන සන්ධාන ගෘහපතියා දුටුවේය. දැක සිය පිරිස සංසිඳවූයේය: ‘පින්වත්නි, නිශ්ශබ්ද වන්න. පින්වත්නි, ශබ්ද නොකරන්න. මේ ශ්රමණ ගෞතමයන්ගේ ශ්රාවකවූ සන්ධාන ගෘහපති තෙමේ එයි. රජගහ නුවර වසන ශ්රමණ ගෞතමයන්ගේ යම් ගිහි ශ්රාවකයෝ වෙත්ද, සුදුවත් හඳින මොහු ඔවුන් අතුරෙන් එකෙකි. මේ ආයුෂ්මත්හු වනාහි නිශ්ශබ්දතාව කැමැත්තෝය. නිශ්ශබ්දතාවයෙහි හික්මුණෝය. නිශ්ශබ්දතාවයෙහි ගුණ කියන්නෝය. නිශ්ශබ්ද පිරිසක් බව දැන (මෙහි) පැමිණිය යුතු යැයි සිතන්නේ නම් යහපතැ’යි. මෙසේ කී කල්හි ඒ පිරිවැජියෝ නිශ්ශබ්ද වූහ.
3. ඉක්බිති සන්ධාන ගෘහපති තෙමේ නිග්රොධ පරිබ්රාජකයා වෙත එළඹියේය. එළඹ නිග්රොධ පරිබ්රාජකයා සමග සතුටු විය. සතුටු වියයුතු, සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් සන්ධාන ගෘහපති තෙමේ නිග්රොධ පරිබ්රාජකයාට මෙය කීවේය: 'මේ පින්වත් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ එක් රැස්ව මහ හඬින් උස් හඬින් ඝෝෂා කරමින් වාසය කරති; එනම් රජුන් පිළිබඳ කථාය... (පෙ)... භවාභව කථාය යන නොයෙක් තිරශ්චීන කථාවල යෙදෙමිනි. ඒ භාග්යවතුන් වහන්සේ වනාහි අන් පරිද්දකින්ම ආරණ්යයෙහි වනප්රස්ථවූ, ජනශූන්යවූ, මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්යවූ, විවේකයට සුදුසු වූ, අඩු ශබ්ද ඇති, අඩු ඝෝෂා ඇති සෙනසුන් සේවනය කරති’ යි.
මෙසේ කී කල්හි නිග්රොධ පරිබ්රාජක තෙමේ සන්ධාන ගෘහපතියාට මෙය කීවේය: 'ගෘහපතිය, ශ්රමණ ගෞතම තෙමේ කවරෙකු සමග සාකච්ඡා කරන්නේ දැයි තෝ දන්නෙහිද? කවරෙකු සමග සාකච්ඡාවට පැමිණෙන්නේද? කවරෙකු සමග ප්රඥාව මෙහෙයවයිද? ශ්රමණ ගෞතමයන්ගේ ප්රඥාව ශූන්යාගාරවල (හිස් ගෙවල්වල) නැසුණි. ශ්රමණ ගෞතම තෙමේ පිරිස් මැදට නොපැමිණෙයි, සාකච්ඡාවට දක්ෂ නැත. හෙතෙමේ වනාන්තර දේශාන්තයන්ම සේවනය කරයි. යම් සේ එකැස් කණ ගවදෙනක් පිරිසෙන් වෙන්ව වනාන්තර දේශාන්තයන්ම සේවනය කරයිද, එපරිද්දෙන්ම ශ්රමණ ගෞතමයන්ගේ ප්රඥාව ශූන්යාගාරවල නැසුණි. ශ්රමණ ගෞතම තෙමේ පිරිස් මැදට නොපැමිණෙයි, සාකච්ඡාවට දක්ෂ නැත. හෙතෙමේ වනාන්තර දේශාන්තයන්ම සේවනය කරයි. එසේ නම් ගෘහපතිය, ශ්රමණ ගෞතම තෙමේ මේ පිරිසට පැමිණියොත් එකම ප්රශ්නයකින් ඔහු අමාරුවේ දමන්නෙමු (සංසාදෙය්යාම), හිස් කළයක් මෙන් ඔහු පෙරළා දමන්නෙමු' යි.
4. භාග්යවතුන් වහන්සේ මිනිස් කණ ඉක්මවූ පිරිසිදුවූ දිවකණින් සන්ධාන ගෘහපතියාගේ නිග්රොධ පරිබ්රාජකයා සමග වූ මේ කථාසංලාපය ඇසූ සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙන් බැස, සුමාගධා පොකුණු ඉවුරෙහි මොරනිවාපය යම් තැනකද එතනට වැඩම කළ සේක. වැඩම කොට සුමාගධා පොකුණු ඉවුරෙහි මොරනිවාපයෙහි අභ්යවකාශයේ සක්මන් කළ සේක. නිග්රොධ පරිබ්රාජක තෙමේ සුමාගධා පොකුණු ඉවුරෙහි මොරනිවාපයෙහි අභ්යවකාශයේ සක්මන් කරන භාග්යවතුන් වහන්සේ දුටුවේය. දැක සිය පිරිස සංසිඳවූයේය: ‘පින්වත්නි, නිශ්ශබ්ද වන්න. පින්වත්නි, ශබ්ද නොකරන්න. මේ ශ්රමණ ගෞතම තෙමේ සුමාගධා පොකුණු ඉවුරෙහි මොරනිවාපයෙහි අභ්යවකාශයේ සක්මන් කරයි. ඒ ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්දතාව කැමැත්තේය. නිශ්ශබ්දතාවයේ ගුණ කියන්නෙකි. නිශ්ශබ්ද පිරිසක් බව දැන (මෙහි) පැමිණිය යුතු යැයි සිතන්නේ නම් යහපති. ඉදින් ශ්රමණ ගෞතම තෙමේ මේ පිරිසට පැමිණියොත්, අපි ඔහුගෙන් මේ ප්රශ්නය අසන්නෙමු: “ස්වාමීනි, යම් ධර්මයකින් භාග්යවතුන් වහන්සේ ශ්රාවකයන් හික්මවාද, යම් ධර්මයකින් හික්මවන ලද ශ්රාවකයෝ අස්වැසිල්ලට පැමිණියාහු, ‘ආදිබ්රහ්මචර්යය’ (මූලික බ්රහ්මචර්යාව) යැයි ප්රතිඥා දෙත්ද, භාග්යවතුන් වහන්සේගේ ඒ ධර්මය කවරේද?”’ යනුයි. මෙසේ කී කල්හි ඒ පිරිවැජියෝ නිශ්ශබ්ද වූහ.