11.
දසුත්තර සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නම් නුවර සමීපයෙහි වූ ගර්ගරා නම් පොකුණු තෙර අසළ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයා හා සමග වාසය කළාහුය.
එකල්හි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙමේ “ඇවැත් මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළේය. ඒ භික්ෂූන් වහන්සේලා “ආයුෂ්මතුන් වහන්සය”යි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙමේ මේ සූත්‍රය වදාළේය:
“සියලු දුක් කෙළවර කිරීමෙන් නිවන් ලැබීම පිණිස විෂම ලෝභය ආදි සියලු බැමි සිඳින්නාවූ දසුත්තර ධර්මය හෙවත් කරුණු එකේ පටන් දසයදක්වා ඇති ධර්මය දේශනා කරමි.
එක් ධර්මය
2. ඇවැත්නි, එක ධර්මයක් බොහෝ උපකාර වන්නේය, එක් ධර්මයක් වැඩිය යුත්තේය, එක් ධර්මයක් පිරිසිඳ දත යුත්තේය, එක් ධර්මයක් දුරුකට යුත්තේය, එක් ධර්මයක් පිරිහීම පිණිස පවත්නේය, එක් ධර්මයක් විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේය, එක් ධර්මයක් දුකසේ අවබෝධ කටයුත්තේය, එක් ධර්මයක් ඉපදවිය යුත්තේය, එක් ධර්මයක් විශේෂයෙන් දතයුත්තේය, එක් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කටයුත්තේය.
කවර නම් එක ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? කුශල ධර්මයන්හි අප්‍රමාද වීමයි, මේ එක ධර්මය බොහෝ උපකාර වන්නේය.
කවර නම් එක ධර්මයක් වැඩිය යුත්තේද? සැපයෙන් යුක්තවූ කායගතාසතිය හෙවත් ශරීරය පිළිබඳ සිහියයි. මේ එක ධර්මය වැඩිය යුත්තේය.
කවර නම් එක ධර්මයක් පිරිසිඳ දතයුත්තේද? කාමාදී කෙලෙස්වලට හා උපාදාන (දැඩි ගැනීම්වලට) යන්ට හේතුවූ ස්පර්ශයයි. මේ එක ධර්මය පිරිසිඳ දතයුත්තේය.
කවර නම් එක ධර්මයක් දුරුකට යුත්තේද? මමය මාගේය යන අස්මි මානයයි. මේ එක ධර්මය දුරුකට යුත්තේය.
කවර නම් එක ධර්මයක් පිරිහීම පිණිස පවත්නේද? නුණුවණින් කල්පනා කිරීමය. මේ එක ධර්මය පිරිහීම පිණිස පවත්නේය.
කවර නම් එක ධර්මයක් විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේද? නුවණින් කල්පනා කිරීමය. මේ එක ධර්මය විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේය.
කවර නම් එක ධර්මයක් දුකසේ අවබෝධ කටයුත්තේද? ආනන්තරික චිත්ත සමාධිය (විදර්ශනාවට අනතුරුව ලැබෙන මාර්ගය) යි. මේ එක ධර්මය දුකසේ අවබෝධ කටයුත්තේය.
කවර නම් එක ධර්මයක් ඉපදවිය යුත්තේද? ප්‍රත්‍යවෙක්ෂණ ප්‍රඥාවයි. (මාර්ගඵලාදිය සලකා බලන නුවණයි.) මේ එක ධර්මය ඉපදවිය යුත්තේය.
කවර නම් එක ධර්මයක් විශේෂ නුවණින් දතයුත්තේද? සියලු සත්වයන් ආහාරය නිසා පවත්නා බවයි. මේ එක ධර්මය විශේෂ නුවණින් දතයුත්තේය.
කවර නම් එක ධර්මයක් ප්‍රත්‍යක්ෂ කටයුත්තේද? නොසෙල්විය හැකි චිත්ත විමුක්තියයි කියන ලද අර්හත්ඵල විමුක්තියයි. මේ එක ධර්මය ප්‍රත්‍යක්ෂ කටයුත්තේය.
මෙසේ මේ දශ ධර්මයෝ වනාහි ස්වභාව වශයෙන් පවත්නාහුය. යම්බඳුයැයි වදාරණලද නම් එබඳු ස්වභාව ඇත්තාහුමය. වදාළ ක්‍රමයෙන් අන් පරිද්දකින් නොවන්නාහුය. තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරණ ලද්දාහුය.
ධර්ම දෙක
3. ධර්ම දෙකක් බොහෝ උපකාර වන්නාහුය, ධර්ම දෙකක් වැඩිය යුත්තාහුය, ධර්ම දෙකක් පිරිසිඳ දතයුත්තාහුය, ධර්ම දෙකක් දුරුකට යුත්තාහුය, ධර්ම දෙකක් පිරිහීම පිණිස පවත්නාහුය, ධර්ම දෙකක් විශේෂ ඵලයට පමුණු වන්නාහුය. ධර්ම දෙකක් දුකසේ අවබෝධ කට යුත්තාහුය. ධර්ම දෙකක් ඉපදවිය යුත්තාහුය. ධර්ම දෙකක් විශේෂ නුවණින් දතයුත්තාහුය. ධර්ම දෙකක් ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහුය.
කවර නම් ධර්ම දෙකක් බොහෝ උපකාර වන්නාහුද? සිහිය හා නුවණ යන දෙකය. මේ ධර්ම දෙක බොහෝ උපකාර වන්නාහුය.
කවර නම් ධර්ම දෙකක් වැඩිය යුත්තාහුද? සමථය හා විදර්ශනාව යන දෙකය. මේ ධර්ම දෙක වැඩිය යුත්තාහුය.