9.
මහා සතිපට්ඨාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, ‘මහණෙනියි’ කථා කළෝය. භික්ෂුහු ‘ස්වාමින් වහන්ස,’යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය:
2. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්මකෙනෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීමය, වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හටගන්නා දුක්ය, සිතෙහි හටගන්නා දුක්ය යන මොවුන්ගේ දුරලීම පිණිසද ඤාය නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද, නිර්වාණය අවබෝධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේය. ඒ සතර කවරහුදයත්? මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි, ලෝභයද ක්‍රෝධයද සංසිඳුවා ගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද,
කෙලෙස් තවන වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව විඳීම් රාශියෙහි, ලෝභය, හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද,
කෙලෙසුන් තවන වීර්යය ඇත්තේ යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව සිත් සමනයෙහි ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද,
කෙලෙසුන් තවන වීර්යය ඇතිව, සිහි ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, නීවරණාදි ධර්ම රාශියෙහි ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවා ගෙන ධර්මයන් කෙරෙහි ධර්ම අනුව සිහි කරමින් වාසය කරන්නේය.
උද්දෙසො නිට්ඨිතො.
3. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේදයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය, සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය, දීර්ඝ කොට (කල්ගනිමින්-හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට (ඉක්මනින්) ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාසය ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ‘ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාසය දැන ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරගන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
4. මහණෙනි, දක්ෂවූ ලියන වඩුවෙක් හෝ වඩුවෙකුගේ අත වැස්සෙක් හෝ දික් කොට අදින්නේ හෝ, ‘දික් කොට අදිනෙමියි’ කියා යම්සේ දනීද, ලුහුඬුව අදින්නේ හෝ එසේ ලුහුඬු කොට අදිනෙමියි කියා යම්සේ දනීද, එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬුකොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දනියි. මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාස දැනගනිමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ‘ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. සියලු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ‘ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය.