10.
පායාසි සූත්රය
මා විසින් මේ සූත්රය මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත්වූ කුමාර කාශ්යප ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්ෂුසංඝයා සමග කොසොල් ජනපදයෙහි සැරිසරා වඩින සේක් කොසොල් ජනපද වාසීන්ගේ සෙතව්යා නම් නුවර යම් තැනකද එතැනට පැමිණියහ. එහි වූකලී ආයුෂ්මත් කුමාර කාශ්යප ස්ථවිරයන් වහන්සේ සෙතව්යා නම් නුවරට උතුරු දිශාවෙහිවූ ඇට්ටේරිය වනයෙහි වසන්නාහ.
ඒ කාලයෙහි පායාසි නම් රාජන්යයා (උප රජු) පසේනදි කොසොල් රජු විසින් දෙන ලද නොයෙක් සතුන්ගෙන් ගැවසී ගත්තාවූ, තණ, දර දිය හා ධාන්ය (වී ආදිය) සහිතවූ, රජු ගෙන් ලබනලද හෙයින් අනුභව කළයුතුවූ, රජුගේ තෑග්ගක්වූ උසස් වශයෙන් දෙනලද සෙතව්යා නම් නුවර අධිපතිව වසයි.
එකල්හි පායාසි රාජන්යයාට (උප රජුට) මේ මේ කාරණයෙන් (මෙලොව මිස) පරලොවක් නැත. මැරී උපදිනා (ඔපපාතික) සත්වයෝ නැත්තාහුය. කුසල අකුසල කර්මයන් ගේ ඵල විපාකයක් නැත්තේයයි මෙබඳුවූ ලාමක දෘෂ්ටියක් (පහත් දැකීමක්) උපන්නේ වෙයි.
2. අස්සොසුං ඛො සෙතබ්යකා බ්රාහ්මණගහපතිකා: “සමණො ඛලු භො කුමාරකස්සපො සමණස්ස ගොතමස්ස සාවකො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සෙතබ්යං අනුප්පත්තො සෙතබ්යායං විහරති උත්තරෙන සෙතබ්යං සිංසපාවනෙ. තං ඛො පන භවන්තං කුමාරකස්සපං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: පණ්ඩිතො බ්යත්තො මෙධාවී බහුස්සුතො චිත්තකථී කල්යාණපටිභානො වුද්ධො චෙව අරහා ච. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති. (ඉක්බිති සෙතව්යා නුවර වැසි බ්රාහ්මණ ගෘහපතීහු, “පින්වත්නි, ශ්රමණ භවත් ගෞතමයන්ගේ ශ්රාවකවූ කුමාර කාශ්යප ශ්රමණයෝ පන්සියයක් පමණ භික්ෂූන්වූ මහත් භික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි සැරිසරා යමින් සෙතව්යා නුවරට පැමිණ සෙතව්යා නුවරට උතුරු දිශාවෙහිවූ ඇට්ටේරිය වනයෙහි වාසය කරන්නාහ. ඒ කුමාරකාශ්යප ස්ථවිරයන් වහන්සේ පණ්ඩිතය, කථාවෙහි දක්ෂය, නුවණ ඇත්තේය. බොහෝ උගත්ය. ලක්ෂණ කථා ඇත්තේය. යහපත් වැටහීම් ඇත්තේය. දියුණුවූ නුවණ ඇත්තේය. රහත් බවෙන්ද යුක්තයහ” යි ඒ පින්වත් කුමාරකාශ්යප ස්ථවිරයන් වහන්සේ පිළිබඳවූ මෙබඳු මහත් කීර්ති ශබ්දයක් පැන නැංගේය. එබඳු රහතුන්ගේ දැකීම යහපත්ය යන මේ කාරණය ඇසුවාහුය.)
3. ඉක්බිති සෙතව්යා නුවර වැසි බ්රාහ්මණ ගෘහපතිකයෝ රාශි රාශිව සමූහ සමූහව සෙතව්යා නුවරින් නික්ම උතුරු දෙසට හැරී ඇට්ටේරිය වනය යම් තැනකද එතැනට පැමිණෙත්. එවේලෙහි පායාසි රාජන්යතෙමේ ප්රාසාදයේ උඩුමහල් තලයෙහි දවල් නින්දට පැමිණියේ වෙයි. එවිට රාශි රාශිව සමූහ සමූහව සෙතව්යා නුවරින් නික්ම උතුරුදෙසට හැරී ඇට්ටේරිය වනය යම් තැනකද එතැනට යන්නාවූ සෙතව්යා නගර වාසී බ්රාහ්මණ ගෘහපතියන් පායාසි රාජන්යතෙමේ දුටුවේය. දැක, ඇසූ ප්රශ්නයට උත්තර දීමෙහි දක්ෂවූ ඛත්ත නම් අමාත්යයාට කථා කළේය: “පින්වත් ඛත්තය සෙතව්යා නුවරවාසී බ්රාහ්මණගෘහපතිකයෝ බොහෝසෙයින් රැස්වූ සමූහයා ඇතිව එක්ව සෙතව්යා නුවරින් නික්ම උතුරු දිශාවට හැරී ඇට්ටේරිය වනය යම් තැනකද එහි කුමට යද්දැ?”යි ඇසුවේය.
“පින්වත, එයට කාරණයක් ඇත්තේය. ගෞතම ශ්රමණයන්ගේ ශ්රාවකවූ කුමාරකාශ්යප නම් ශ්රමණ තෙමේ පන්සියයක් පමණ මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි සැරිසරා යමින් සෙතව්යා නගරයට පැමිණ, සෙතව්යා නුවර සමීපයෙහි ඒ සෙතව්යා නුවරට උතුරු දිශාවෙහිවූ ඇට්ටේරිය වනයෙහි වාසය කරයි. ඒ කුමාරකාශ්යප ස්ථවිර තෙම පණ්ඩිතය, නුවණ ඇත්තේය, බොහෝ උගත්ය, ලක්ෂණ කථා ඇත්තේය, වැඩුනු නුවණින් හා අර්හත්වයෙන්ද යුක්තයයි ඒ පින්වත් කුමාර කාශ්යප ස්ථවිරයන් පිළිබඳව මෙබඳු කීර්ති ශබ්දයක් පැන නැංගේය. ඒ පින්වත් කුමාරකාශ්යප ස්ථවිරයන් වහන්සේ දැකීම පිණිස ඔවුහු යන්නාහ”යි කීය.
“එසේ වීනම් පින්වත් ඛත්තය, සෙතව්යා නගර වාසී බ්රාහ්මණ ගෘහපතීන් යම් තැනකද එතැනට යව. ගොස් සෙතව්යා නගර වාසී බ්රාහ්මණ ගෘහපතීන්ට මෙසේ කියව: ‘පින්වත්නි, පායාසි රාජන්ය තෙමේ මෙසේ කියයි. පින්වත්හු එන තෙක් සිටිත්වා, පායාසි රාජන්යතෙමේද කුමාරකාශ්යප මහණහු දැකීමට එන්නේය. කුමාරකාශ්යප ශ්රමණ තෙමේ නුවණ නැති (මෝඩවූ) කථාවෙහි අදක්ෂවූ සෙතව්යා නගර වැසි බ්රාහ්මණ ගෘහපතියන්ට මේ මේ කාරණයෙන් පරලොවක් ඇත්තේය, ඔපපාතික සත්වයෝ ඇත්තාහුය, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේයයි අවබෝධ කරවයි. පින්වත් ඛත්තය, පරලොවක් නැත්තේය. මැරී උපදින (ඔපපාතික) සත්වයෝ නැත්තාහුය. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාකයක් නැත්තේය’ යි කීය. එවිට ඒ ඛත්ත නම් ඇමතියා ‘පින්වත එසේය’යි පායාසි රාජන්යාගේ වචනය පිළිගෙන සෙතව්යා නුවර වැසි බ්රාහ්මණ ගෘහපතීන් යම් තැනකද එතැනට ගියේය. ගොස් සෙතව්යා නුවර වැසි බ්රාහ්මණ ගෘහපතීන්ට මේ කාරණය කීයේය. ‘පින්වත්නි, පායාසි රාජන්ය තෙමේ මෙසේ කියයි: පායාසි රාජන්යතෙමේද කුමාරකාශ්යප මහණහු දැකීමට එන්නේය. පින්වත්හු ඒතාක් නවතිත්වා’ කියායි.”