මහා වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
1.
මහාපදාන සූත්‍රය
1. මේ මාගේ ඇසීමය-(මා විසින් මෙසේ අසනලදී,) එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු මහා සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වාසය කරති. එවිට පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී ඇවුත් කරෙරි (ලුණුවරණ ගස්වලින් වටවූ) මණ්ඩපය අසල විවේකගන්නා ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වූ භික්ෂූන් අතරෙහි අතීත ආත්ම පිළිවෙළ මෙසේය. පෙරවිසූ ආත්ම මෙසේයයි භාග්‍යවතුන්වහන්සේගේ පෙරවිසූ ආත්ම දන්නාවූ ඥානය පිළිබඳ ධාර්මික කථාවක් උපන්නේය.
2. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මනුෂ්‍ය ඥානය ඉක්ම පැවැත්තාවූ දිව්‍යකණින් ඒ භික්ෂූන්ගේ මේ කථාවඇසුවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ උන් ආසනයෙන් නැගිට කෙරෙරි මණ්ඩපය සමීපයෙහිවූ විවේකගන්නා ශාලාව යම් තැනෙක්හිද එතනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩ උන්හ. වැඩහිඳ භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි, මෙහි තෙපි දැන් කිනම් කථාවකින් යුක්තව උන්නහුද? තොපගේ කිනම් කථාවක් අතරතුර නතර කළාහුදැයි” ඇසුවෝය.
3. මෙසේ ඇසූකල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය. “ස්වාමීන් වහන්ස, මෙහි පිණ්ඩපාතයෙන් හැරී ආවාවූ, කරෙරි මණ්ඩපය සමීපයෙහිවූ විවේක ගන්නා ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වූ අප අතරෙහි පෙර ආත්ම මෙසේය. පෙර ආත්ම මෙසේයයි භාග්‍යවතුන් වහන්සේගේ ඉහත ආත්ම දැනගැනීමේ ඥානය පිළිබඳවූ ධාර්මික කථාවක් භාග්‍යවතුන් වහන්සේ ගැන උපන්නේය. ස්වාමීන් වහන්ස, අපගේ මේ කථාව අතරතුර නැවැත්වූහ. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩියෝයයි” කීවාහුය.
4. “මහණෙනි, තෙපි පෙර විසූ ආත්ම පිළිබඳවූ ධර්ම කථාවක් අසන්නට කිමෙක කැමැත්තහුදැයි” ඇසුවෝය.
“යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේ ඉහත ආත්ම පිළිබඳවූ ධර්ම කථාවක් දේශනා කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට සුදුසු කාලයයි. තථාගතයන් වහන්සේ වෙතින් අසා භික්ෂූහු දරාගන්නාහුයයි” කීවෝය. “මහණෙනි, එහෙනම් අසව්, හොඳින් සිහිකරව්, කියන්නෙමියි’ වදාළහ. “ස්වාමීන් වහන්ස, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
5. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සි බුදුරජාණන් වහන්සේ මෙයින් අනූඑක්වෙනි කල්පයෙහි ලොවපහළ වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ මෙයින් තිස්එක්වෙනි කල්පයෙහි ලොව පහළ වූවෝය. මහණෙනි, ඒ තිස් එක්වෙනි කල්පයෙහිම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ නම් බුදුරජාණන් වහන්සේ මේ මහාභද්‍ර කල්පයෙහිම ලොව පහළ වූවෝය මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූවෝය. මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූවෝය. මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම උපන්නෙමි.”
6. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී බුදුරජාණන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූවෝය. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූවෝය. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෝය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූවෝය. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෝය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ බුදුරජාණන් වහන්සේ ජාතියෙන් බ්‍රාහ්මණ වූවෝය. බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන බුදුරජාණන් වහන්සේ ජාතියෙන් බ්‍රාහ්මණ වූවෝය. බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජාතියෙන් බ්‍රාහ්මණ වූවෝය, බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝය. මහණෙනි, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම ජාතියෙන් ක්ෂත්‍රිය වූයෙමි. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෙමි.”
7. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූවෝය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කාශ්‍යප නම් වූවෝය.