8.
සක්කපඤ්හ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය: “අර්හත් සම්යක් සම්බුද්ධවූ භාග්යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි. මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්යවතුන් වහන්සේ සක් දෙවිඳු දුටුවේය. දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය: “නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරුදිගින් වෙදික නම් පර්වත සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්යවතුන්වහන්සේ වැඩවෙසෙති. නිදුකාණෙනි අප අර්හත් සම්යක් සම්බුද්ධවූ ඒ භාග්යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.
2. එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිගින් අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහිවූ වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි මේ භාග්යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්යක් සම්බුද්ධවූ ඒ භාග්යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්රයා, “පින්වතුන් වහන්ස, එසේයයි” සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු ලඟට පැමිණියේය. එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් යම්සේ දිග හරින්නේද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේද එපරිද්දෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගම වේද ඊට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.
3. එකල්හි වෙදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත්විය. එකල අවට ගම්වැසි මනුෂ්යයෝ මෙසේකීහ “වෙදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් වැඩියක් හටගත් ආලෝක ඇත්තේ දැයි” සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.
එවිට සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්රයාට කථා කළේය. “දරුව පංචසිඛය, ධ්යාන ඇත්තාවූ ධ්යානයෙහි ඇලුනාවූ, ඊටපසුව එකඟ කළ සිත් ඇත්තාවූ තථාගතයන් වහන්සේලා ලඟට මා වැන්නෙකු විසින් පැමිණීම පහසුනැත. දරුව පංචසිඛය තොප පළමුව භාග්යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? දරුව තොප විසින් පළමුව සතුටුකරන ලද්දාවූ අර්හත් සම්යක් සම්බුද්ධවූ ඒ භාග්යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම පිණිස යන්නෙමු.” “පින්වතුන් වහන්ස, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව පුත්රතෙම සක් දෙවිඳුගේ වචනය සතුටින් පිළිගෙන බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්රසාල ගුහාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූ පංචසිඛ නම් ගාන්ධර්ව පුත්ර තෙම බෙලුවපණ්ඩු වීණාව වාදනය කළේය. බුදු ගුණ සහිතවූද, දහම් ගුණ සහිතවූද, සඟ ගුණ සහිතවූද, කාම ගුණ සහිතවූද, මේ ගාථාවන්ද කීයේය.
4. “ශොභමානවූ මට සතුටු උපදවන්නාවූ තරුණ සූරියවච්ඡසාවෙනි, යමෙක් නිසා තී උපන්නී නම් ‘තිම්බරු’ නම්වූ ඒ තිගේ පියාට වඳිමි.”
“වෙහෙසවූවකුට (ඩාදිය ඇත්තෙකුට) සිත් සතුටු කරන්නාවූ සුලඟක්මෙන්ද, තිබහඇත්තෙකුට බොන වතුරක්මෙන්ද, රහතුන්ට ධර්මය මෙන්ද, එම්බා ශරීරකාන්තිය ඇත්තිය, තී මට ප්රිය වෙහිය.
“ලෙඩවූවෙකුට බෙහෙතක් මෙන්ද, බඩගිනි ඇත්තෙකුට ආහාරයක්මෙන්ද, එම්බා සුන්දරිය, ඇවිලෙන ගින්නක් ජලයෙන් නිවන්නාක් මෙන් (මගේ ආසාව නමැති දැවිල්ල) නිවා දමව.