6.
මහාගොවින්දසුත්තං
1. මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වසනසේක. ඉක්බිති පඤ්චශිඛ නම් ගාන්ධර්ව දිව්යපුත්රයා රාත්රියේ මධ්යම යාමයෙහි නොයෙක් පාටින් මුලු ගිජ්ජකූට පර්වතය බබුලුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන්වහන්සේ හොඳින් වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ පඤ්චශිඛ ගාන්ධර්ව දිව්යපුත්රයා භාග්යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. “ස්වාමීන් වහන්ස, මා විසින් තව්තිසා වැසි දෙවියන්ගේ සම්මුඛයෙන් යමක් අසන ලද්දේද, පිළිගන්නා ලද්දේද, ස්වාමීන් වහන්ස, ඒ කාරණය භාග්යවතුන්වහන්සේට කියමියි’ දැන්වීය. ‘පඤ්චශිඛය, තෝ මට ඒ කාරණය දන්වවයි” භාග්යවතුන් වහන්සේ වදාළේය.
දෙවසභා
2. “ස්වාමීන් වහන්ස, දවස් කීපයකට පෙර පැමිණි පසළොස්වක් පෝය ඇති වස් පවාරණය කරන සම්පූර්ණවූ හඳ ඇති රාත්රියෙහි සියලු තව්තිසා වැසි දෙවියෝ සුධර්මා සභාවෙහි රැස්ව එක්ව උන්නාහු වෙත්. මහත් දිව්ය පිරිසක් හාත්පසින් උන්නාහු වෙත්. සතර වරම් මහ රජවරු සතර දිගින් උන්නාහ. නැගෙනහිර දෙසින් ධෘතරාෂ්ට්ර මහරජ තෙමේ බස්නාහිර දෙසට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. දකුණුදිග විරූළ්හක මහරජ තෙමේ, උතුරුදිගට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. බස්නාහිර දෙසින් විරූපාක්ෂ රජතෙමේ නැගෙනහිර දිගට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. උතුරුදිග වෛශ්රවණ රජතෙමේ දකුණුදිගට මුහුණ ලා දෙවියන් පෙරටුකොට උන්නේය. ස්වාමීන් වහන්ස, යම් කලෙක්හි සියලු තව්තිසා වාසී දෙවියෝ සුධර්මා නම් දිව්ය සභාවෙහි රැස්ව එක්වසිටියෝ වෙත්ද, මහා දෙවි පිරිසක් හාත්පසින් එක්ව උන්නාහු වෙත්ද, මෙසේ ඔවුන්ගේ ආසන වේ. අනතුරුව පසුභාගයෙහි අපගේ ආසන වේ. ස්වාමීන්වහන්ස, යම් ඒ දෙවි කෙනෙක් භාග්යවතුන් වහන්සේගේ බ්රහ්මචර්ය්යාවෙහි හැසිර තව්තිසා දිව්ය ලෝකයෙහි අලුත උපන්නාහුද, ඔව්හු ශරීර වර්ණයෙන් හා යසසින්ද අනික් දෙවියන්ට වැඩිය බබලන්නේය. ස්වාමීන් වහන්ස, ඒ කාරණයෙන් තව්තිසා වැසි දෙවියෝ සතුටු සිත් ඇත්තෝ වෙත්, ප්රමුදිත සිත් ඇත්තෝ වෙත්, හටගත් ප්රීති හා සොම්නස් ඇත්තෝ වෙත්. “පින්වත්නි, ඒකාන්තයෙන් දිව්ය සමූහයා දියුණුවෙත්. අසුර සමූහයා පිරිහෙත්ය” කියායි.
3. “ස්වාමීන්වහන්ස, එකල්හි සක්දෙවිඳු තෙමේ තව්තිසා වාසී දෙවියන්ගේ පැහැදීම දැනගෙන මේ ගාථාවලින් සතුටු විය.
‘පින්වත්නි, ඒකාන්තයෙන් ඉන්ද්රයා (ශක්රයා) සහිතවූ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේටද ධර්මයටද සංඝයාටද නමස්කාර කරමින් ප්රීති වෙත්.
උසස් ශරීර වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද අලුත් දෙවියන් දැක්කාහ. සුගතයන් වහන්සේ කෙරෙහි උතුම් හැසිරීම කොට මේ දෙව්ලොවට පැමිණියාවූ
ඒ දිව්යපුත්රයෝ ශරීරයේ පාටින්ද යසසින් හා ආයුෂයෙන්ද අන්ය දෙවියන් ඉක්මවා බබලන්නාහ. විශාල ප්රඥා ඇති භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකයෝ මේ දිව්යලෝකයෙහි විශේෂ බවට පැමිණියාහුය.
සක්රයා සහිතවූ තව්තිසා වැසි දෙවියෝ මේ කාරණය දැක තථාගතයන් වහන්සේටද ධර්මයටද සංඝයාටද වඳිමින් ප්රීති වෙත්.
“ස්වාමීන් වහන්ස, ඒකාරණය හේතුකොටගෙන තව්තිසා දෙවියෝ බොහෝසෙයින්ම සතුටු සිත් ඇත්තෝ ප්රමුදිත සිත් ඇත්තෝ හටගත් සතුට ඇත්තෝ වෙත්. “පින්වත්නි, ඒකාන්තයෙන් දිව්ය සමූහයා දියුණු වෙත්. අසුරයෝ පිරිහෙත්ය” කියායි.
අට්ඨ යථාභුච්චවණ්ණා
4. “ස්වාමීන් වහන්ස, නැවත සක්ර දෙවෙන්ද්ර තෙමේ තව්තිසා වැසි දෙවියන්ගේ යහපත් පැහැදීම් දැනගෙන ඒ තව්තිසා වැසි දෙවියන්ට කථාකර මෙසේ කීවේය “දෙවිවරුනි, ඒ භාග්යවතුන් වහන්සේගේ සත්ය ගුණ අට අසන්නට කැමැත්තාහුදැයි” ඇසීය.
“නිදුකාණෙනි, අපි ඒ භාග්යවතුන් වහන්සේගේ සත්ය ගුණ අට අසන්නට කැමැත්තෙමුයි” කීවාහුය.
ස්වාමීන් වහන්ස, එකල්හි, සක්රදෙවේන්ද්රතෙමේ තව්තිසා වැසි දෙවියන්ට භාග්යවතුන් වහන්සේගේ සත්යවූ ගුණ අට ප්රකාශ කෙළේය.
“පින්වත්නි, තව්තිසා වැසි දෙවියෝ ඒ කුමක්දැයි සිතත්ද, ඒ භාග්යවතුන් වහන්සේ බොහෝ දෙනාට වැඩ පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ ප්රයෝජනය පිණිසද වැඩ පිණිසද, සැප පිණිසද පවතින්නේ වේද, මෙසේ බොහෝ දෙනාට වැඩ පිණිසද, බොහෝ දෙනාට සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ ප්රයෝජනය පිණිසද, වැඩ පිණිසද, සැප පිණිසද, පවතින්නාවූ, මේ අංගයෙන් යුක්තවූ ශාස්තෘ කෙනෙකු ඒ භාග්යවතුන් වහන්සේ හැර අතීතයෙහි නොමදක්නෙමු. මේ කාලයෙහිද නොම දක්නෙමු. (1)