5.
ජනවසභ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගමෙහි ගිංජකාවසථ නම් විහාරයෙහි වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ නාදික ගම අවට අවට ජනපදයන්හි සමීප අතීත කාලයෙහි මැරුණාවූ උපාසකයන් පිළිබඳ උත්පත්ති ප්‍රකාශ කරන සේක. (කවර නම් අවට දනව්ද යත්) කාසි කොසල ජනපදද, වජ්ජි මල්ල ජනපදද, චෙතිය වංස ජනපදද, කුරු පංචාල ජනපදද, මච්ඡසූරසේන ජනපදද, වෙත්. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය යනුවෙනි. සමීප අතීත කාලයෙහි මැරුණාවූ නාදික ගමෙහි විසූ ඔරම්භාගිය සංයෝජන (යට කාම ලෝකයෙහි බඳින බන්ධන) පස ක්ෂය කිරීමෙන් ඔපපාතිකවූ බඹලොව පිරිනිවන් පාන ස්වභාව ඇත්තාවූ ඒ ලෝකයෙන් නැවත එන ස්වභාව නැත්තාවූ උපාසකවරු පණසකට වැඩි වෙත්. ළඟ අතීත කාලයෙහි මැරුණ සංයෝජන (කෙලෙස් රැහැන්) තුනක් නැති කිරීමෙන් රාග ද්‍වෙෂ මෝහයන් තුනීකිරීම හේතු කොටගෙන සකෘදාගාමි වූවාහු මේ මිනිස් ලොවට එක් වරක් පමණක් අවුත් දුක් කෙළවර කරන්නාවූ නාදික ගම විසූ උපාසකවරු අනූවකට වැඩි වෙත්. ළඟ ඉකුත් කාලයේ මැරුණාවූ නාදික ගම් වැසි සංයෝජන (කෙලෙස් රැහැන්) තුනක් නැති කිරීමෙන් සෝවාන් ඵලයට පැමිණියාවූ (සතර) අපායට නොවැටෙන ස්වභාව ඇත්තාවූ අර්හත් ඵලයට නියතවූ උපාසකයෝ පන්සියයකට වැඩි වෙත්.
2. නාදික ගම් වැසි උපාසකයෝ මේ කාරණය ඇසුවාහුය. ‘භාග්‍යවතුන් වහන්සේ හාත්පස හාත්පස ජනපදවල ළඟ ඉකුත් කාලයේ මැරුණාවූ උපාසකයන්ගේ උත්පත්ති වදාරණ සේක. (කවර දනව්හිද යත්) කාසි කොසල දනව්හිද, වජ්ජ මල්ල දනව්හිද, චෙතිය වංස දනව්හිද, මච්ඡ සූරසේන දනව්හිද වෙත්. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය යනුවෙනි. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික ගම් වැසි ඔරම්භාගිය සංයෝජන (යට කාම ලෝකයෙහි බන්ධන) පහ නැතිකිරීමෙන් ඔපපාතිකවූ ඒ බ්‍රහ්ම ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තාවූ එහිදීම පිරිනිවන්පාන්නාවූ උපාසකයෝ පණහකට වැඩි වෙත්. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික ගම් වැසි සංයෝජන තුනක් නැති කිරීමෙන්, රාග ද්‍වෙෂ මෝහයන් තුනිකිරීම නිසා සකෘදාගාමිවූ එක් වරක් පමණක් මේ මිනිස් ලොවට අවුත් සසර දුක් කෙළවර කරන්නාවූ උපාසකයෝ අනූවකට වැඩිවෙත්. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික ගම් වැසි සංයෝජන තුනක් නැතිකිරීම හේතුකොට ගෙන සෝවාන් ඵලයට පැමිණියාවූ (සතර) අපායට නොවැටෙන ස්වභාව ඇත්තාවූ අර්හත් ඵලයට නියතවූ උපාසකයෝ පන්සීයකට වැඩි වෙත්.’ භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රශ්න විසඳීම අසා නාදික නම් ගම්වැසි උපාසකයෝ සතුටු සිත් ඇත්තෝ ප්‍රමුදිත සිත් ඇත්තෝ, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වූහ.
3. ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේ මේ කාරණය ඈසුයේය. “භාග්‍යවතුන් වහන්සේ නාදික ගමට හාත්පස හාත්පස ජනපදවල ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ උපාසකයන් පිළිබඳ උත්පත්ති ප්‍රකාශ කරන සේක. (කවර දනව්හිද යත්) කාසි කොසල ජනපදවලද වජ්ජි මල්ල ජනපදවලද, චෙතිය වංස ජනපදවලද, කුරු පංචාල ජනපද වලද, මච්ඡ සුරසේන ජනපදවලද වෙත්. අසවල් නම් ඇත්තා අසවල් තැන උපන්නේය. අසවල් නම් ඇත්තා අසවල් තැන උපන්නේය යනුවෙනි. ළඟ ඉකුත් කාලයෙහි මැරුණ නාදික ගම්වැසි ඔරම්භාගය සංයෝප්න පහ නැතිකිරීමෙන් ඔපපාතිකවූ ඒ බ්‍රහ්ම ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තාවූ එහිදීම පිරිනිවන් පාන්නාවූ උපාසකයෝ පණහකට වැඩි වෙත්. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික ගම් වැසි සංයෝජන තුනක් නැති කිරීමෙන් රාග ද්‍වෙෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමිවූ (එක් වරක් පමණක් මේ මිනිස් ලොවට අවුත් සසර දුක් කෙළවර කරන්නාවූ) උපාසකයෝ අනූවකට වැඩි වෙත්. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික නම් ගම් වැසි සංයෝජන තුනක් නැතිකිරීම හේතුකොට ගෙන සෝවාන් ඵලයට පැමිණියාවූ (සතර) අපායට නොවැටෙන ස්වභාව ඇත්තාවූ අර්හත් ඵලයට නියතවූ උපාසකයෝ පන්සීයකට වැඩි වෙත්. භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රශ්න විසඳීම අසා නාදික ගම්වැසි උපාසකයෝ සතුටුසිත් ඇත්තෝ. ප්‍රීතිය හා සොම්නස ඇත්තෝ වූහ” කියායි.
ආනන්දපරිකථා
4. එකල්හි ආයුෂ්මත්වූ, ආනන්ද තෙරුන් වහන්සේට මේ අදහස වූයේය. “ළඟ ඉකුත්වූ කාලයෙහි මැරුණාවූ මේ මගධ ජනපද වාසී උපාසකයෝ බොහෝ වූහ. චිර රාත්‍රි (බොහෝ දවස්) දන්නෝද වූහ. ළඟ ඉකුත්වූ කාලයෙහි කළුරිය කළාවූ මගධ ජනපද වාසී උපාසකයන්ගෙන් අඟු මගධ දෙරට වැස්සෝ නැත්තාහයි (සූන්‍යයයි) සිතමි. මේ අඟු මගධ දෙරට වැසි උපාසකයෝද බුදුන් කෙරෙහි පැහැදුනෝ ධර්මය කෙරෙහි පැහැදුනෝ වෙත්. සංඝයා කෙරෙහි පැහැදුනෝ වෙත්. සීලයන් සම්පූර්ණ කරන්නෝ වෙත්. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ ඒ උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දාහුය. ඒ උපාසකයන් ගැනද යහපත් විසඳීමක් වන්නේ නම් බොහෝ ජනයා පැහැදෙන්නේය. ඒ හේතුවෙන් සුගතියට යන්නේය. තවද මගධ ජනපදයට අධිපතිවූ, සේනා ඇත්තාවූ. ඒ බිම්බිසාර රජද ධාර්මික වෙයි. ධර්මයෙන් (ජනයන්) සතුටු කරන්නේ වෙයි. බ්‍රාහ්මණ ගෘහපතියන්ටද, නියම්ගම් වැස්සන්ටද, ජනපද වැස්සන්ටද, වැඩ කැමැත්තේය. තවද මනුෂ්‍යයෝ මේ කාරණය වර්ණනාකරමින් වාසය කරත්. ධාර්මිකවූ ඒ ධර්මරාජයා අප මෙසේ සැපයට පමුණුවා කළුරිය කෙළේය. මෙසේ අපි ධාර්මිකවූ ඒ ධර්මරාජයාගේ රටෙහි පහසුවෙන් වාසය කෙළෙමු කියායි. ඒ රජුද බුදුන් කෙරෙහි පැහැදුනේය, ධර්මය කෙරෙහි පැහැදුනේය. සංඝයා කෙරෙහි පැහැදුනේය, සීලයන් සම්පූර්ණ කරන්නෙක් වූයේය. තවද මිනිස්සු මෙසේ කියත්. “මරණ කාලය දක්වාත් මගධ රට අධිපතිවූ සේනා ඇති බිම්බිසාර රජ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණණා කරන්නෙක්වම මැරුණේය.”