4.
මහා සුදස්සන සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම්වූ මල්ල රජුන්ගේ සල්වනයෙහි යමක සාල වෘක්ෂයන් අතරෙහි පිරිනිවන්පාන කාලයෙහි වාසය කළෝය.
එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ විසම නුවරක්වූ ශාඛානගරයක්වූ මේ කුසිනාරා නුවරෙහි පිරිනිවන් නොපානසේක්වා. ස්වාමීන් වහන්ස, මෙයින් අන්‍යවූ මහ නුවරවල් ඇත්තාහ. එනම් චම්පා නුවරය, රජගහනුවරය, සැවැත් නුවරය, කොසඹෑ නුවරය, බරණැස් නුවරය, යන මොහුය. මෙයින් එක් නුවරකදී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන සේක්වා. එහි බොහෝවූ ක්ෂත්‍රිය මහාසාර කුලයෝද, බ්‍රාහ්මණ මහාසාර කුලයෝද, ගෘහපති මහාසාර කුලයෝද ඇත්තාහ. ඔව්හු තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා පැහැදුනෝ වෙත්, ඔව්හු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහුයයි” දැන්නුවේය.
2. “ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නුවරයයි, මෙසේ නොකියව. ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නුවරයයි, මෙසේ නොකියව.
කුසාවතී රාජධානි
ආනන්දය, පෙර එක් කාලයක අභිෂෙක ලැබුවාවූ, ක්ෂත්‍රිය වංශයෙහි උපන්නාවූ සාගරය කෙළවර කොට ඇති සතර මහාද්වීපයට නායකවූ, සතුරන් ජයගත්තාවූ ජනපදයන්හි ස්ථිරබවට පැමිණියාවූ, මහාසුදර්ශන නම් රජෙක් විය. ආනන්දය, ඒ මහාසුදර්ශන රජුට මේ කුසිනාරා නුවර කුසාවතී නමින් රාජධානිය වී. ආනන්දය, ඒ කුසාවතී නම් නගරය වනාහි නැගෙනහිරින්ද, බටහිරින්ද දිගින් දොළොස් යොදුන් විය. උතුරු දිගින්ද දකුණු දිගින්ද පළලින් සත් යොදුන් විය. ආනන්දය, කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය. සියල්ලෙන් සම්පූර්ණ විය. බොහෝ ජනයා ඇත්තී විය. මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තීය. කෑම් බීම් ආදියෙන්ද ඉතා සුලභ විය.
ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආළකමන්දා නම් රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධද සම්පූර්ණද බොහෝ ජනයන් ඇත්තීද, යක්ෂයන්ගෙන් ගැවසී ගත්තීද, කෑම් බීම් ආදියෙන්ද සුලභද, එමෙන්ම ආනන්දය, කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය සම්පූර්ණද විය. බොහෝ ජනයා ඇත්තීය, මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තීය. කෑම් බීම් ආදියෙන්ද සුලභ විය. ආනන්දය, කුසාවතී රාජධානිය රෑ දාවල් දෙක්හිම දස ආකාර ශබ්දයෙන්ද, ඝොෂා සහිත විය. එනම්: ඇතුන්ගේ ශබ්දයෙන්ද, අසුන්ගේ ශබ්දයෙන්ද, රථ ශබ්දයෙන්ද, බෙර ශබ්දයෙන්ද, මුතිංග ශබ්දයෙන්ද, වීණා ශබ්දයෙන්ද, ගීතශබ්දයෙන්ද, සම්ම ශබ්දයෙන්ද, තාල ශබ්දයෙන්ද, ‘කන්න, බොන්න, කන්න’ යන මේ දස වැනි වූ ශබ්දයෙන්ද යුක්ත විය.
3. ආනන්දය, කුසාවතී රාජධානිය ප්‍රාකාර සතකින් වටවූවාය. එනම් එකක් රත්‍රනින්ද, එකක් රිදියෙන්ද, එකක් වෛඪුර්‍ය්‍ය මැණික්වලින්ද, එකක් පළිඟු මැණික් වලින්ද, එකක් රතු මැණික්වලින්ද, එකක් මසාර ගල්ලයෙන්ද, එකක් සියලුම රත්නයන්ගෙන්ද කරවනලදී. ආනන්දය, කුසාවතී රාජධානියෙහි සතර වර්ගයක දොරටු වූවාහුය, එනම් එකක් රනින්විය, එකක් රිදියෙන් විය, එකක් වෛරෝඩි මැණිකෙන් විය, එකක් පළිඟු මැණිකෙන් විය. එක් එක් දොරටුවක එසිකාස්ථම්භ (අගුළු කණු) සත බැගින් හිඳුවන ලද්දාහුය. මිනිසුන් තුන් හතරදෙනෙකුගේ උස පමණ පොළොව යට බැස ගත්තාහ. උසින් මිනිසුන් දොළොස්දෙනෙකුගේ උස පමණ විය. එක් කණුවක් රත්‍රනින් විය, එකක් රිදියෙන් විය, එකක් වෛරෝඩි මැණිකෙන් විය, එකක් පළිඟු මැණිකෙන් විය, එකක් රතු මැණිකෙන් විය, එකක් මැසිරි ගලින් විය, එකක් සියලු රත්නයන්ගෙන් විය.
ආනන්දය, කුසාවතී නම් රාජධානිය තල්ගස් පේලි සතකින් වට වූයේය. එක් තල්ගස් පෙළක් රත්‍රනින් විය. එක් තල්ගස් පෙළක් රිදියෙන් විය. එක් තල්ගස් පෙළක් වෛරෝඩි මැණිකෙන් විය. එක් තල්ගස් පෙළක් පලිඟු මැණිකෙන් විය. එක් තල්ගස් පෙළක් රතු මැණික්වලින් විය. එක් තල්ගස් පෙළක් මැසිරි ගල්වලින් විය. එක් තල් ගස් පෙළක් සියලු රත්නයන්ගෙන් විය. රත්‍රනින් කළ තල් ගසේ කඳ රත්‍රන් විය. කොළ හා ගෙඩි රිදියෙන් විය. රිදියෙන් කළ තල් ගසේ කඳ රිදියෙන් විය. කොළ හා ගෙඩි රත්‍රනින් විය. වෛරෝඩියෙන් කළ තල් ගසේ කඳ වෛරෝඩියෙන් විය. කොළ හා ගෙඩි පළිඟු මාණික්‍යමය විය. පළිඟු මැණිකෙන් කළ තල් ගසෙහි කඳ පළිඟු වලින් විය. කොළ හා ගෙඩි වෛරෝඩි මැණිකෙන් විය. රතු මැණිකෙන් කළ තල් ගසෙහි කඳ රතු මැණික්වලින් විය. කොළ හා ගෙඩි මැසිරි ගලින් විය. මසාරගල්ලෙන් කළ තල් ගසෙහි කඳ මසාරගල්ලෙන්ම විය. කොළ හා ගෙඩි රතු මැණිකෙන් විය. සියලු රත්නයන්ගෙන් කළ තල් ගසෙහි කඳ සියලු රත්නයන්ගෙන්ම විය. කොළ හා ගෙඩි සියලු රත්නයන්ගෙන් විය. ආනන්දය, ඒ තල්ගස් පේළි සුලඟින් සෙලවෙන විට මිහිරිවූද, සිත් අලවන්නාවූද, ප්‍රියවූද, මත්වන්නාවූද, ශබ්ද ඇති වූයේය. ආනන්දය, යම්සේ හික්මුණාවූ වාදනයෙහි දක්ෂයෙකු විසින් වාදනය කරන ලද්දාවූ පංචාංගික තූර්‍ය්‍යයාගේ මිහිරිවූද, සිත් අලවන්නාවූද, ප්‍රියවූද, මත්වන්නාවූද ශබ්දය ඇතිවේද, ආනන්දය එපරිද්දෙන් සුලඟින් සෙලවෙන ඒ තල් ගස් පන්තිවලින් මිහිරිවූද, සිත් අලවන්නාවූද, ප්‍රියවූද, මත්වන්නාවූද ශබ්ද ඇතිවූහ. ආනන්දය, ඒ කාලයෙහි කුසාවතී රාජධානියෙහි යම් ධූර්තයෝ වූවාහුද, සුරා සොඬෝ වූවාහුද, පිපාසා ඇත්තෝ වූවාහුද, ඔවුහු සුළඟට සෙලවෙන ඒ තල්ගස් පන්තිවලින් එන ශබ්දයෙන් සතුටුවන්නාහ.