3.
මහා පරිනිර්වාණ සූත්රය
මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි: ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් උදුරා දමන්නෙමි, වැදැ රජුන් වනසන්නෙමි, වැදැ රජුන් වැනසී යාමට පමුණුවන්නෙමියි’ යනුයි.
2. එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්ර අජාසත් රජ මගධරට මහාමාත්යවූ වස්සකාර බ්රාහ්මණයාට කථාකර මෙසේ කීයේය:
“බ්රාහ්මණය, මෙහි එනු, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව: ‘ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්ර අජාසත් රජතෙමේ භාග්යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි’ දන්වව.
තවද මෙසේ කියව: ‘ස්වාමීන් වහන්ස, මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි: “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්රකාශකරන සේක්ද, ඒ ප්රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා හිස් වචනයක් නොවදාරන්නහුයයිද’ කීයේය.
3. ‘පින්වතුන් වහන්ස, එසේ යහපතැයි’ මගධ මහාමාත්ය වස්සකාර බ්රාහ්මණයා මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්රවූ අජාසත් රජහට උත්තරදී යහපත් යහපත් යානාවන් යොදවා යහපත් යහපත් යානාවකට නැගී යහපත් යහපත් යානාවලින් රජගහ නුවරින් පිටත්විය. පිටත්ව, ගිජ්ජකූට පර්වතය යම්තැනකද එතැනට ගියේය. යානාවෙන් යායුතු භූමිය දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස, එතැන් සිට පයින්ම භාග්යවතුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු වියයුතුවූද සිහිකටයුතුවූද කථාව නිමකොට එකපැත්තක උන්නේය. එකපැත්තක උන්නාවූ මගධ මහාමාත්යවූ වස්සකාර බ්රාහ්මණයා භාග්යවතුන් වහන්සේට මේ කාරණය දැනුම්දුන්නේය:
“පින්වත් ගෞතමයන්වහන්ස, මගධරට රජවූ වේදෙහි දේවියගේ පුත්රවූ අජාසත් රජතෙමේ පින්වත් ගෞතමයන් වහන්සේගේ පාදයන් හිසින් වඳී. වැඳ භාග්යවතුන් වහන්සේ දුක් නැතුව නිරෝගීව, සැහැල්ලු පැවතුම් ඇතිව, ශරීර බල ඇතුව, සැප පහසු ඇතුව, වෙසේ දැයි’ අසයි. ‘භවත් ගෞතමයන් වහන්ස, මගධරට රජවූ වෙදෙහි දෙවියගේ පුත්රවූ අජාසත් රජතෙම වැදැරජුන් යටත් කර ගන්නට යනු කැමැත්තේවේ. ඒ රජතෙමේ මෙසේද කියයි. ‘මහත් ඍද්ධි ඇත්තාවූද මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් නසන්නෙමි, වැදැරජුන් නැතිකර දමන්නෙමි’ කියායි”
[වජ්ජීන්ගේ සප්ත අපරිහානීය ධර්ම:]
4. ඒ කාලයේදී ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට පවන් සලමින් භාග්යවතුන් වහන්සේගේ පිටිපස වැඩ උන්නේය, එවිට භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළ සේක:
“කිමෙක්ද ආනන්දය, ‘වැදැරජහු නිතර රැස්වන්නාහුය, රැස්වීම් බහුලව ඇත්තාහුය’ යන මේ කාරණය තොප විසින් අසන ලදදැයි” ඇසූසේක.
“ස්වාමීන් වහන්ස, ‘වැදැරජහු නිතර රැස්වන්නාහුය, රැස්වීම් බහුලව ඇත්තාහුය’ යන මේ කාරණය මා විසින් අසනලදී.”
“ආනන්දය යම්තාක් කල් වැදැරජහු නිතර රැස්වීම් ඇත්තාහු රැස්වීම් බහුලව ඇත්තාහුද, ආනන්දය, ඒ වැදැ රජුන්ගේ වැඩිදියුණුවම කැමැතිවිය යුතුයි. පිරිහීමක් නොවේමය.” (1)
“කිමෙක්ද ආනන්දය, ‘වැදැරජහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගීසිටිත්ද, සමගිව වැදැරජහු කටයුතු කෙරෙත්ද’ යන මේ කාරණය තා විසින් අසනලදදැයි’ ඇසූසේක.
“ස්වාමීන් වහන්ස, ‘වැදැරජහු සමගිව රැස්වෙත්, සමගිව නැගී සිටිත්, වැදැරජහු සමගිව කටයුතු කරත්’ යන බව මා විසින් අසන ලද්දේය”
“ආනන්දය, යම්තාක් කල් වැදැ රජහු සමගිව රැස්වන්නාහුද, සමගිව නැගීසිටිත්නාහුද, වැදැරජහු සමගිව කටයුතු කරන්නාහුද ආනන්දය, ඒතාක් වැදැරජුන්ගේ වැඩිදියුණුවම කැමතිවිය යුතු, පිරිහීමක් නම් නොවේමය.” (2)
“කිමෙක්ද ආනන්දය, ‘වැදැරජහු නොපණවන ලද අලුත් නීති නොපණවත්ද පණවනලද නීති කඩනොකරත්ද, පණවනලද පුරාණ වජ්ජි රාජධර්මයන් දැඩිසේ ගෙන පිළිපදිද්ද,’ යන මේ කාරණය තා විසින් අසන ලදදැයි” අසූසේක.
“ස්වාමීන් වහන්ස, ‘වැදැරජහු නොපණවන ලද්දක් නොපණවත්ය. පණවන ලද්දක් කඩ නොකෙරෙත්ය. පණවනලද වජ්ජිරාජ ධර්මයන් පිළිගෙන ඒ අනුව පිළිපදිත්ය,’ යන මේ කාරණය මා විසින් අසනලදී”