2.
මහානිදාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්යවතුන් වහන්සේ කුරුරට කම්මාසදම්ය නම්වූ කුරුරට වැස්සන්ගේ නියම්ගමක්වීද එහි වාසය කළෝය. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙ කාරණය දැන්නුවේය: “ස්වාමීන්වහන්ස, පුදුමයි! ස්වාමීන්වහන්ස, ආශ්චර්යයි! මේ පටිච්චසමුප්පාදය කොපමණ ගැඹුරුද, ගැඹුරු බවක් පෙනේද! එසේ වුවත් මට මෙය ඉතා ලිහිල් දෙයක් මෙන් වැටහෙයි”.
2. ආනන්දය, එසේ නොකියව. ආනන්දය, එසේ නොකියව. ආනන්දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරුය. ගැඹුරු බවක් පෙනෙයි. ආනන්දය, මේ ධර්මය අවබෝධ නොකිරීමෙන්, ප්රත්යක්ෂ නොකිරීමෙන් මේ සත්ව ප්රජාව අවුල් වූ නූල් බෝලයක් මෙන්ද, කුරුලු කැදැල්ලක් මෙන්ද, මුදුතණ හා බබුස් තණ මෙන්ද වී, අපාය, දුගතිය, විනිපාතය වූ සසර ඉක්මවා නොයති.
3. ‘මේ ප්රත්යය ඇති කල්හි ජරාමරණ වේදැ’යි ඇසූ කල්හි සතිය පිහිටුවා ගෙන ‘ඇත්තේය’යි කිය යුතුය. ‘කුමක් ප්රත්යය කොට ගෙන ජරා මරණ වේදැ’යි ඉදින් අසන්නේ නම් ‘ජාතිය ප්රත්යය කොට ගෙන ජරා මරණ වේය’යි මෙසේ කිය යුතුය.
‘මේ ප්රත්යය ඇති කල්හි ජාතිය වේදැ’යි ඇසූ කල්හි සතිය පිහිටුවා ගෙන ‘ඇත්තේය’යි කිය යුතුය. ‘කුමක් ප්රත්යය කොට ගෙන ජාතිය වේදැ’යි ඉදින් අසන්නේ නම් ‘භවය ප්රත්යය කොට ගෙන ජාතිය වේය’යි මෙසේ කිය යුතුය.
‘මේ ප්රත්යය ඇති කල්හි භවය වේදැ’යි ඇසූ කල්හි සතිය පිහිටුවා ගෙන ‘ඇත්තේය’යි කිය යුතුය. ‘කුමක් ප්රත්යය කොට ගෙන භවය වේදැ’යි ඉදින් අසන්නේ නම් ‘උපාදානය ප්රත්යය කොට ගෙන භවය වේය’යි මෙසේ කිය යුතුය.
‘මේ ප්රත්යය ඇති කල්හි උපාදානය වේදැ’යි ඇසූ කල්හි සතිය පිහිටුවා ගෙන ‘ඇත්තේය’යි කිය යුතුය. ‘කුමක් ප්රත්යය කොට ගෙන උපාදානය වේදැ’යි ඉදින් අසන්නේ නම් ‘තණ්හාව ප්රත්යය කොට ගෙන උපාදානය වේය’යි මෙසේ කිය යුතුය.
‘මේ ප්රත්යය ඇති කල්හි තණ්හාව වේදැ’යි ඇසූ කල්හි සතිය පිහිටුවා ගෙන ‘ඇත්තේය’යි කිය යුතුය. ‘කුමක් ප්රත්යය කොට ගෙන තණ්හාව වේදැ’යි ඉදින් අසන්නේ නම් ‘වේදනාව ප්රත්යය කොට ගෙන තණ්හාව වේය’යි මෙසේ කිය යුතුය.
‘මේ ප්රත්යය ඇති කල්හි වේදනාව වේදැ’යි ඇසූ කල්හි සතිය පිහිටුවා ගෙන ‘ඇත්තේය’යි කිය යුතුය. ‘කුමක් ප්රත්යය කොට ගෙන වේදනාව වේදැ’යි ඉදින් අසන්නේ නම් ‘ඵස්සය (ස්පර්ශය) ප්රත්යය කොට ගෙන වේදනාව වේය’යි මෙසේ කිය යුතුය.
‘මේ ප්රත්යය ඇති කල්හි ඵස්සය වේදැ’යි ඇසූ කල්හි සතිය පිහිටුවා ගෙන ‘ඇත්තේය’යි කිය යුතුය. ‘කුමක් ප්රත්යය කොට ගෙන ඵස්සය වේදැ’යි ඉදින් අසන්නේ නම් ‘නාමරූප ප්රත්යය කොට ගෙන ඵස්සය වේය’යි මෙසේ කිය යුතුය.
‘මේ ප්රත්යය ඇති කල්හි නාමරූප වේදැ’යි ඇසූ කල්හි සතිය පිහිටුවා ගෙන ‘ඇත්තේය’යි කිය යුතුය. ‘කුමක් ප්රත්යය කොට ගෙන නාමරූප වේදැ’යි ඉදින් අසන්නේ නම් ‘විඤ්ඤාණය ප්රත්යය කොට ගෙන නාමරූප වේය’යි මෙසේ කිය යුතුය.
‘මේ ප්රත්යය ඇති කල්හි විඤ්ඤාණය වේදැ’යි ඇසූ කල්හි සතිය පිහිටුවා ගෙන ‘ඇත්තේය’යි කිය යුතුය. ‘කුමක් ප්රත්යය කොට ගෙන විඤ්ඤාණය වේදැ’යි ඉදින් අසන්නේ නම් ‘නාමරූප ප්රත්යය කොට ගෙන විඤ්ඤාණය වේය’යි මෙසේ කිය යුතුය.
මෙසේ වනාහි ආනන්දය, නාමරූප ප්රත්යය කොට ගෙන විඤ්ඤාණය වෙයි. විඤ්ඤාණය ප්රත්යය කොට ගෙන නාමරූප වෙයි. නාමරූප ප්රත්යය කොට ගෙන ඵස්සය වෙයි. ඵස්සය ප්රත්යය කොට ගෙන වේදනාව වෙයි. වේදනාව ප්රත්යය කොට ගෙන තණ්හාව වෙයි. තණ්හාව ප්රත්යය කොට ගෙන උපාදානය වෙයි. උපාදානය ප්රත්යය කොට ගෙන භවය වෙයි. භවය ප්රත්යය කොට ගෙන ජාතිය වෙයි. ජාතිය ප්රත්යය කොට ගෙන ජරාමරණද ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝද හටගනිත්. මෙසේ මේ මුළු මහත් දුක් රැසේ හටගැනීම සිදුවේ.
4. ‘ජාතිය ප්රත්යය කොට ගෙන ජරා මරණ වේය’යි මෙසේ මෙය කියන ලද්දේය. ආනන්දය, යම් හෙයකින් ජාතිය ප්රත්යය කොට ගෙන ජරා මරණ වේද, එය මේ ක්රමයෙන් දත යුතුය. ආනන්දය, දෙවියන්ගේ දෙව භාවය පිණිස හෝ ගන්ධර්වයන්ගේ ගන්ධර්ව භාවය පිණිස හෝ යක්ෂයන්ගේ යක්ෂභාවය පිණිස හෝ භූතයන්ගේ භූතභාවය පිණිස හෝ මනුෂ්යයන්ගේ මනුෂ්ය භාවය පිණිස හෝ සිවුපාවන්ගේ සිව්පාභාවය පිණිස හෝ පක්ෂීන්ගේ පක්ෂිභාවය පිණිස හෝ සර්පයින්ගේ සර්පභාවය පිණිස හෝ යම් යම් සත්වයන්ගේ ඒ ඒ භාවය පිණිස කිසිවෙකුට කිසි තැනක ජාතියක් (ඉපදීමක්) මුළුමනින්ම නොවන්නේ නම්, සියලු ආකාරයෙන්ම ජාතිය නැති කල, ජාති නිරෝධයෙන් ජරා මරණ පෙනෙන්නේද?
“ස්වාමීන් වහන්ස, එය නොවන්නේමය”.
“ආනන්දය, එබැවින් ජරාමරණයට හේතුවද මෙයමය, නිදානයද මෙයමය, සමුදයද මෙයමය, ප්රත්යයද මෙයමය. එනම් ජාතියයි”.