9. 1. 4. 5.
ඣානනිස්සයන සූත්‍රය
[සාවත්ථිනිදානං]
36. “මහණෙනි, මම පළමුවෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය කියමි. මහණෙනි, මම දෙවෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය (වේයයි) කියමි. මහණෙනි, මම තුන්වෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම සතරවෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම ආකාසානඤ්වායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම විඤ්ඤාණඤ්වායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම සඤ්ඤාවෙදයිතනිරොධ සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි.
“මහණෙනි, පළමුවෙනි ධ්‍යානය නිසා මම ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම වේයයි මෙසේ වනාහි මෙය වදාරණ ලදී. මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද,
හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශාන්තය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේද, ඒ ධර්‍ම රාගයෙන්, ඒ ධර්‍ම නන්‍දියෙන්, පඤ්චෝරම්භාගීය ධර්‍මයන් ක්‍ෂය කිරීමෙන්, එහි පිරිනිවන් පාන්නා සුළුවූ, ඒ ලෝකයෙන් (නැවත උත්පත්ති වශයෙන්) නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි.
මහණෙනි, යම්සේ ධනුර්ධරයෙක් හෝ, ධනුර්ධර අතවැසියෙක් හෝ, තෘණයෙන් කළ පුරුෂයෙක් (පඹයෙක්) හෝ, මැටි ගොඩක් හෝ ඉලක්ක කොට හෙතෙම පසු කාලයක මහත්වූ (සමූහයක්) ප්‍රදාලනය කරන්නාවූ, දුරට ඊය යවන සුළුවූ, අක්‍ෂණවේධි ධනුර්ධරයෙක් වේද,
“මහණෙනි, එසේම මහණතෙම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද... ඕපපාතික වෙයි. මහණෙනි, මම පළමුවෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය කියමියි, මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය මේ පිණිස කියන ලදී.
“මහණෙනි, මම දෙවෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම වේයයි මෙසේ වනාහි මෙය වදාරණ ලදී... මෙය මේ පිණිස කියන ලදී. “මහණෙනි, මම තුන්වෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම වේයයි මෙසේ වනාහි මෙය වදාරණ ලදී... මෙය මේ පිණිස කියන ලදී. “මහණෙනි, මම හතරවෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම වේයයි මෙසේ වනාහි මෙය වදාරණ ලදී... මෙය මේ පිණිස කියන ලදී. “මහණෙනි, මම ආකාසානඤ්චායතන ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂවීම කියමියි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ප්‍රථිඝ සංඥාවන් දුරු කිරීමෙන්, නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි, ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද,
හෙතෙම එහි වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද... ඕපපාතික වෙයි. හෙතම පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන්, එහි පිරිනිවන්පානා සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරළා නොඑන සුළුවූයේ, ඕපපාතික වෙයි.