9. 1. 2. 9.
පච්ඡානුතාපීනී සූත්රය
[සැවැත් නිදානයයි]
“මහණෙනි, මේ රාත්රියෙහි බොහෝ දේවතාවෝ අභික්කාන්ත රාත්රියෙහි බබලන වර්ණ ඇතිව මුළු ජේතවනයම ඒකාලෝක කොට මා වෙත පැමිණියාහුය. පැමිණ මා වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටියා වූ ඒ දේවතාවෝ මා හට මෙසේ කීවාහුය:
“ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි හුනස්නෙන් නැගිටුම්හ, එහෙත් නොම වැන්දෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි අපරිපූර්ණ කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය.”
මහණෙනි, අන්යවූත් බොහෝ දේවතාවෝද මා කරා පැමිණ මේ කාරණය කීවාහුය. “ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි හුනස්නෙන් නැගිටුම්හ, වැන්දෙමු. එහෙත් ආසන නුදුන්නෙමු, ස්වාමීන් වහන්ස, ඒ අපි අපරිපූර්ණ කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය.”
මහණෙනි, අන්යවූත් බොහෝ දේවතාවෝද මා කරා පැමිණ මේ කාරණය කීවාහුය: “ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි හුනස්නෙන් නැගිටුම්හ, වැන්දෙමු, අසුන් දුන්නෙමු. නමුත් ශක්ති පමණින් (දන්) බෙදා නුදුන්නෙමු. ... ශක්ති පමණින් බෙදා දුන්නෙමු, නමුත් බණ ඇසීමට ළඟ නොහිඳගත්තෙමු. ... ළඟ හිඳගත්තෙමු, නමුත් කන් යොමා බණ නොඇසුවෙමු. ... කන් යොමා බණ ඇසුවෙමු, නමුත් අසා ධර්මය නොදැරුවෙමු. ... ධර්මය දැරුවෙමු, නමුත් දැරූ ධර්මයේ අර්ථය විමසා නොබැලුවෙමු. ... අර්ථය විමසා බැලුවෙමු, නමුත් අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි නොපිළිපැද්දෙමු. ස්වාමීන් වහන්ස, (එසේ) අපරිපූර්ණ කර්මාන්ත ඇති අපි, විපිළිසර වූවාහු, පසුතැවිලි වන්නාහු, හීන වූ කයකට (පහත් ලෝකයකට) උප්පත්තිය ලද්දෙමු”යි.
“මහණෙනි, අන්යවූද බොහෝ දේවතාවෝ මා කරා පැමිණ මෙසේ කීවාහුය:
“ස්වාමීන් වහන්ස, පෙර මනුෂ්යවූ පැවිද්දෝ අප කරා පැමිණියාහුය. ස්වාමීනි, ඒ අපි (දැක) හුනස්නෙන් නැගිටුම්හ. වැනදෙමු, අසුන් දුන්නෙමු. ශක්ති පමණින්, බල පමණින්, (සීලවන්තයන්ට) බෙදා වැළඳවූයෙමු. ධර්මශ්රවණය පිණිස වෙත උන්නෙමු. නමන ලද කන් ඇතුව ධර්මය ඇසූම්හ. ධර්මය අසා දරා ගතුම්හ. දරාගත් ධර්මයන්ගේ අර්ත්ථය නැවත පරීක්ෂා කෙළෙම්හ. අර්ත්ථයත් දැන, ධර්මයත් දැන, ධර්මානුධර්මයන්ට අනුව පිළිපැදුම්හ. ස්වාමීනි, පරිපූර්ණ කර්මාන්ත ඇති, විපිළිසර නොවු, පසුතැවිළි නොවූ, ඒ අපි ප්රණීතවූ කයකට, උසස් ලෝකයකට පැමිණියෙමු.”
“මහණෙනි, මේ රුක්මුල් ශූන්යාගාරයන්හි ධ්යාන වඩවු. ඒ පූරිමික දේවතාවුන් මෙන් පමා නොවවු. පසුව විපිළිසර නොවවු.”
9. 1. 2. 10.
වෙලාම සූත්රය
“එකං සමයං භගවා...” 20. “ඉක්බිති, අනේපිඬු ගෘහපති තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙ උන්නාවූ, අනේපිඬු ගෘහපතියන්ට, භාග්යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“ගෘහපතිය, තොපගේ කුලයෙහි (ගෙදර) දන් දෙනු ලැබේද?” “ස්වාමීන් වහන්ස, මා විසින් කුලයෙහි දන් දෙනු ලැබෙති. හෙද වනාහි, කාඩි දෙවෙනි කොට ඇති, කුඩු හාලේ බත්ය.”
“ගෘහපතිය, රූක්ෂව (කටුකව) හෝ දානය දෙයිද, ප්රණීතව හෝ දෙයිද, එය නොසකස්කොට දෙයිද, අචිත්තීකෘතව (අගෞරවයෙන්) දෙයිද, සියතින් නොදෙයිද, (ඇණවීමෙන්) දෙයිද, අහක දමන ලද්දක් මෙන් දෙයිද, කම්පල නොඅදහා දෙයිද, යම් යම් තැනක ඒ දානයාගේ විපාකය නිපදවයිද, (එසේ කල්හි) උදාරවූ බොජුන් වැළඳීම පිණිස සිත නොනැමෙයි. උදාරවූ වස්ත්ර පරිභෝගය පිණිස සිත නොනැමෙයි. උදාරවූ යාන පරිභෝගය පිණිස සිත නොනැමෙයි. උදාරවූ පස්කම් පරිභෝගය පිණිස සිත නොනැමෙයි. ඔහුගේ යම් ඒ පුත්රයෝ හෝ වෙත්ද, අඹුවෝ හෝ වෙත්ද, දාසයෝ හෝ වෙත්ද, මෙහෙකරුවෝ හෝ වෙත්ද, කම්කරුවෝ හෝ වෙත්ද, ඔවුහුද (කියන වදන්) නොඅසත් නොහොත් කීකරු නොවෙත්. (දැනගැනීම පිණිස) කන් යොමා නොසිටිත්. දැන ගැනීම පිණිස සිත පිහිටුවා නොතබත්. ඊට හේතු කවරේද? ගෘහපතිය, මෙසේ මෙය වනාහි, නොසකස් කොට කරණ ලද කර්මයන්ගේ විපාකය වෙයි.