9. 1. 2. 10.
වෙලාම සූත්රය
“එකං සමයං භගවා...” 20. “ඉක්බිති, අනේපිඬු ගෘහපති තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙ උන්නාවූ, අනේපිඬු ගෘහපතියන්ට, භාග්යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“ගෘහපතිය, තොපගේ කුලයෙහි (ගෙදර) දන් දෙනු ලැබේද?” “ස්වාමීන් වහන්ස, මා විසින් කුලයෙහි දන් දෙනු ලැබෙති. හෙද වනාහි, කාඩි දෙවෙනි කොට ඇති, කුඩු හාලේ බත්ය.”
“ගෘහපතිය, රූක්ෂව (කටුකව) හෝ දානය දෙයිද, ප්රණීතව හෝ දෙයිද, එය නොසකස්කොට දෙයිද, අචිත්තීකෘතව (අගෞරවයෙන්) දෙයිද, සියතින් නොදෙයිද, (ඇණවීමෙන්) දෙයිද, අහක දමන ලද්දක් මෙන් දෙයිද, කම්පල නොඅදහා දෙයිද, යම් යම් තැනක ඒ දානයාගේ විපාකය නිපදවයිද, (එසේ කල්හි) උදාරවූ බොජුන් වැළඳීම පිණිස සිත නොනැමෙයි. උදාරවූ වස්ත්ර පරිභෝගය පිණිස සිත නොනැමෙයි. උදාරවූ යාන පරිභෝගය පිණිස සිත නොනැමෙයි. උදාරවූ පස්කම් පරිභෝගය පිණිස සිත නොනැමෙයි. ඔහුගේ යම් ඒ පුත්රයෝ හෝ වෙත්ද, අඹුවෝ හෝ වෙත්ද, දාසයෝ හෝ වෙත්ද, මෙහෙකරුවෝ හෝ වෙත්ද, කම්කරුවෝ හෝ වෙත්ද, ඔවුහුද (කියන වදන්) නොඅසත් නොහොත් කීකරු නොවෙත්. (දැනගැනීම පිණිස) කන් යොමා නොසිටිත්. දැන ගැනීම පිණිස සිත පිහිටුවා නොතබත්. ඊට හේතු කවරේද? ගෘහපතිය, මෙසේ මෙය වනාහි, නොසකස් කොට කරණ ලද කර්මයන්ගේ විපාකය වෙයි.
“ගෘහපතිය, රූක්ෂව (කටුකව) හෝ දන් දෙයිද, ප්රණීතව හෝ දෙයිද, සකස්කොට දෙයිද, චිත්තීකෘතව ගෞරවයෙන් දෙයිද, සියතින් දෙයිද, අහක දමන ලද්දක් සේ නොදෙයිද, කම්පල අදහා දෙයිද, යම් යම් තැනක ඒ ඒ දානයාගේ විපාකය නිපදීද, උදාරවූ බොජුන් වැළඳීම පිණිස සිත (එසේ කල්හි) උදාරවූ යාන පරිභෝගය පිණිස නැමෙයි. උදාරවූ පස්කම් පරිභෝගය පිණිස නැමෙයි. උදාරවූ වස්ත්ර පරිභෝගය පිණිස, සිත නැමෙයි. ඔහුගේ යම් ඒ පුත්රයෝ හෝ වෙත්ද, දාරයෝ (අඹුවෝ) හෝ වෙත්ද, දාසයෝ හෝ වෙත්ද, මෙහෙකරුවෝ හෝ වෙත්ද, කම්කරුවෝ හෝ වෙත්ද, ඔවුහුද කීකරු වෙත්. කන් යොමා තබත්. දැන ගැනීම පිණිස සිත එළවා තබත්. ඊට හේතු කවරේද? ගෘහපතිය, මෙසේ මෙය වනාහි, සකස් කොට කරණ ලද කර්මයන්ගේ විපාකය වෙයි.”
“එකල්හි පෙර වේලාම නම් බ්රාහ්මණයෙක් විය. හෙතෙම මෙබඳුවූ මහත් දානයක් දුන්නේය. රිදියෙන් පිරුණු රන්තලි අසූහාර දාහක් දුන්නේය. රනින් පිරුණු රිදීතලි අසූහාර දාහක් දුන්නේය. අමුරන් පිරුණු කස්තලි අසූහාර දාහක් දුන්නේය. ස්වර්ණාලංකාර ඇති, ස්වර්ණද්වජ ඇති, රන් දැලින් ගැවසුනාවූ ඇතුන් අසූ හාර දාහක් දුන්නේය. සිංහ සම් පිරිවරණ ලද, ව්යාඝ්ර සමින් පිරවරණ ලද, (අවුරණ ලද) දිවිසමින් අවුරණ ලද, පඬුවන් කම්බිලිවලින් අවුරණ ලද, රුවනින් අලංකාර කරණ ලද, ස්වර්ණධජ ඇති, රන් දැලින් ගැවසී ගත්තාවූ, සුවාසූ දහස් රථ දුන්නේය. දුහුල් සංදර්ශන ඇති, රිදීමය කිරි බඳුන් ඇති, සුවාසූ දහසක් දෙනුන් දුන්නේය. පැළඳගත් මිණි කොඬොල් ඇති, සුවාසූ දහසක් කන්යාවන් දුන්නේය. කොඳු පලසින් අතුරණ ලද්දාවූද, මෘදු සුදු එළු ලොම් ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, ඝනපුප් ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, කෙහෙල් මුවන්ගේ සමින් කරණ ලද, උතුම්වූ පසතුරුණින් අතුරණ ලද, උඩුවියන් සහිතවූ, දෙපසින් තබන ලද රතු කොට්ට ඇති, සුවාසූ දහසක් පර්ය්යඞ්කයන් දුන්නේය. සියුම් කොමුය, සියුම් කෝසෙය්යය, සියුම් කම්බිලිය, සියුම් කපුය, යන මොවුන් පිළිබඳ වස්ත්ර කෝටිසහස්ර යන් දුන්නේය. ආහාරය, පානවර්ගය, ඛාදයය, භොජ්යය, ලෙය්යය, පෙය්යය, යන මොවුන් ගැන කියනුම කවරේද? (එය) ගලා බසින්නාවූ ගඟක් මෙන් හඟිම්ය යනුයි.
“ගෘහපතිය, තට ඔහු පිළිබඳ මෙවැනි අදහසක් වන්නේය. (එනම්) ‘ඒ කාලයෙහි ඒකාන්තයෙක් වේලාම බ්රාහ්මණයා අනිකෙක් වූයේය කියායි. හෙතෙම ඒ මහා දානය දුන්නේය’ යි. ගෘහපතිය, මේ කාරණය මෙසේ නොදත යුතුය. මම ඒ කාලයෙහි වේලාම බ්රාහ්මණයා වීමි. මම ඒ මහා දානය දුන්නෙමි.
“ගෘහපතිය, ඒ දානයෙහි වනාහි කිසියම් දක්ෂිණාර්හයෙක් නොවූයේය. කිසිවෙක් ඒ දක්ෂිණාව විශොධනය, (පිරිසිදු බව) නොකරයි. ගෘහපතිය, වේලාම බ්රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක දෘෂ්ටිසම්පන්නයෙක් (සෝවාන්වූවෙකු) වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය.