9. 1. 2. 5.
ගණ්ඩොපම සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, යම්සේ නොයෙක් වර්‍ෂ ගණන් ඇති, ගණ්ඩයක් (ගඩගෙඩියක්) වේද, එහි නොබිඳුණු නවමුඛ ඇති, වණමුඛ නවයක් වන්නාහුද, එයින් යම් කිසිවක් වැගිරෙන්නේ නම්, අසූචියක්ම වැගිරෙන්නේය. දුර්‍ගන්ධයක්ම වැගිරෙන්නේමය. පිළිකුල් කටයුත්තක් වැගිරෙන්නේමය. යම් කිසිවක් වෑස්සීම වන්නේ නම්, අසූචියක්ම වෑස්සෙන්නේය. දුර්‍ගන්ධයක්ම වෑස්සෙන්නේය. පිළිකුල් කටයුත්තක්ම වෑස්සෙන්නේය.
මහණෙනි, ගණ්ඩය යනු, මේ චාතුර්මහාභූතික ශරීරයටම හටගැනීම ඇත්තාවූ, මවුපියන්ගේ ශුක්‍ර ශෝණිතයෙන් හට ගැනීම් ඇත්තාවු, බත්කොමුවලින් වැඩීම ඇත්තාවූ, අනිත්‍යවූ, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, වීවංසනය යන මෙය ස්වභාව කොට ඇති මේ චාතුර්මහාභූතික ශරීරයට කියන නමෙකි. ඔහුගේ නව වණ මුඛ වෙති. නව අභෙදන මුඛ වෙති. එයින් යම් කිසිවක් වැගිරෙන්නේ නම්, අසූචියක්ම වැගිරෙන්නේය. දුර්‍ගන්ධයක්ම වැගිරෙන්නේමය. පිළිකුල් කටයුත්තක් වැගිරෙන්නේමය. යම් කිසිවක් වෑස්සීම වන්නේ නම්, අසූචියක්ම වෑස්සෙන්නේය. දුර්‍ගන්ධයක්ම වෑස්සෙන්නේය. පිළිකුල් කටයුත්තක්ම වෑස්සෙන්නේය. මහණෙනි, එහෙයින් මේ ශරීරයෙහි කළකිරෙවු” යනුයි.
9. 1. 2. 6.
නවසඤ්ඤා සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති. ඒ නවය කවරහුද යත්?
අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුක්ඛයෙහි අනාත්ම සංඥාවය, පහාණ සංඥාවය, විරාග සංඥාවය යනුයි. මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.”
9. 1. 2. 7.
නවඞ්ගකුල සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, නවයෙකින් යුතු කුලයට එළඹීම හෝ නුසුදුසු ය, එළඹ හිඳ ගැනීම හෝ නුසුදුසු ය. කවර නවයෙකින් ද යත්?”
“මනාපයෙන් (සතුටින්) හුනස්නෙන් නො නැගිටිත් ද, මනාපයෙන් නො වඳිත් ද, මනාපයෙන් අසුන් නො දෙත් ද, ඇත්තා වූ දෙය සඟවත් ද, බොහෝ ඇති කල්හි ස්වල්පයක් දෙත් ද, ප්‍රණීත ඇති කල්හි රළු දෙයක් දෙත් ද, නො සකසා දෙත් ද, සකසා නො දෙත් ද, බණ ඇසීමට නො එළඹෙත් ද, කියන බණ නො අසත් ද (යන කරුණුයි). මහණෙනි, මේ අංග නවයෙන් යුක්ත කුලයට නො පැමිණීම හෝ සුදුසු ය, පැමිණ හිඳ ගැනීම හෝ නො සුදුසු ය.”