9. 1. 2. 6.
නවසඤ්ඤා සූත්රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති. ඒ නවය කවරහුද යත්?
අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි ප්රතිකූල සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාවය, අනිත්ය සංඥාවය, අනිත්යයෙහි දුඃඛ සංඥාවය, දුක්ඛයෙහි අනාත්ම සංඥාවය, පහාණ සංඥාවය, විරාග සංඥාවය යනුයි. මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.”
9. 1. 2. 7.
නවඞ්ගකුල සූත්රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, නවයෙකින් යුතු කුලයට එළඹීම හෝ නුසුදුසු ය, එළඹ හිඳ ගැනීම හෝ නුසුදුසු ය. කවර නවයෙකින් ද යත්?”
“මනාපයෙන් (සතුටින්) හුනස්නෙන් නො නැගිටිත් ද, මනාපයෙන් නො වඳිත් ද, මනාපයෙන් අසුන් නො දෙත් ද, ඇත්තා වූ දෙය සඟවත් ද, බොහෝ ඇති කල්හි ස්වල්පයක් දෙත් ද, ප්රණීත ඇති කල්හි රළු දෙයක් දෙත් ද, නො සකසා දෙත් ද, සකසා නො දෙත් ද, බණ ඇසීමට නො එළඹෙත් ද, කියන බණ නො අසත් ද (යන කරුණුයි). මහණෙනි, මේ අංග නවයෙන් යුක්ත කුලයට නො පැමිණීම හෝ සුදුසු ය, පැමිණ හිඳ ගැනීම හෝ නො සුදුසු ය.”
“මහණෙනි, අංග නවයෙකින් සමන්වාගත කුලයට නො පැමිණියේ හෝ පැමිණීමට සුදුසු ය, පැමිණියේ හෝ හිඳ ගැනීමට සුදුසු ය. කවර නවයෙකින් ද යත්?”
“මනාපයෙන් හුනස්නෙන් නැගිටිත් ද, මනාපයෙන් වඳිත් ද, මනාපයෙන් අසුන් දෙත් ද, ඇති දෙය නො සඟවත් ද, බොහෝ ඇති කල්හි බොහෝ දෙත් ද, ප්රණීත ඇති කල්හි ප්රණීත ව දෙත් ද, සකසා දෙත් ද, නො සකසා නො දෙත් ද, බණ ඇසීමට එළඹෙත් ද, කියන බණ අසත් ද (යන කරුණුයි).”
“මහණෙනි, මේ අංග නවයෙන් යුක්ත කුලයට නො පැමිණියේ හෝ පැමිණීමට සුදුසු ය, පැමිණියේ හෝ හිඳ ගැනීමට සුදුසු ය යි.”
9. 1. 2. 8.
නවඞ්ගුපොසථ සුත්තං
[සැවැත් නිදානයයි]
“මහණෙනි, අඞ්ග නවයකින් යුක්තවූ පෙහෙවස වැස නිමවන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ නම් අඞ්ග නවයකින් යුතුව වැස නිමවන ලද පෙහෙවස තෙමේ මහත් ඵල වෙයිද, මහානිසංස වෙයිද, මහා බැබලීම් ඇති වෙයිද, මහත් පැතිරීම් ඇති වෙයිද?
1. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙමේ මෙසේ කල්පනා කෙරෙයි. කෙසේද? “දිවිහිම් කොට රහත්හු ප්රාණාතිපාතය හැර, ප්රාණාතිපාතයෙන් වැළකුණහු, බහාපියන ලද දඬුවම් ඇතියහු, බහාපියන ලද ආයුධ ඇතියහු, ලජ්ජා ඇතියහු, කරුණාවට පැමිණියහු, සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කෙරෙත්ද, අද මමද මේ රාත්රි කාලයද, මේ දවස මුලුල්ලද, ප්රාණාතිපාතය හැර, ප්රාණාතිපාතයෙන් වැළකුණේ, බහාපියන ලද දඬු ඇත්තේ, බහාපියන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, වාසය කරමි කියායි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ පළමුවෙනි අඞ්ගයෙන් යුක්තවූයේ වෙයි.
2. “දිවිහිම් කොට රහතුන් වහන්සේලා අදින්නාදානය (-නුදුන්දේ ගැන්ම) හැර, නුදුන් දෙය ගැන්මෙන් වැළකුණාහු, දුන් දේ ගැනුම් සුළු වූවාහු, දුන් දේ කැමතිවන සුළු වූවාහු, සොර නොවූ, පවිත්රවූ ආත්මයෙන් යුක්තව, වෙසෙත්ද, අද මමද මේ රාත්රි කාලයද, මේ දහවල් කාලයද, නුදුන් දේ ගැනීමෙන් දුරුව, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ, දෙන දෙයට කැමතිවන සුළු වූයේ, සොර නොවූ, පවිත්රවූ, ආත්මයෙන් යුක්තව වසමි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ දෙවෙනි අඞ්ගයෙන් යුක්තවූයේ වෙයි.