9. 1. 2. 4.
සමිද්‍ධි සාරීපුත්ත සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත් සමිද්‍ධි ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණි සේක. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක උන්හ. එකත්පසෙක උන්නාවූ ආයුෂ්මත් සමිද්‍ධි ස්ථවිරයන් වහන්සේට, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“සමිද්‍ධිය, කුමන අරමුණකින් පුරුෂයාට අදහස් උපදිත්ද?” “ස්වාමීන් වහන්ස, සිතට රූප ගොදුරුවීම හේතුකොට ගෙනය (නාම රූපාරම්මණා).”
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කොතැන්හි නොයෙක් ආකාර බවට යෙත්ද?” “ස්වාමීන් වහන්ස, (ඇස්, කන් ආදී) ධාතූන් කෙරෙහිය.”
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් උපත කොට ඇත්තාහුද?” “ස්වාමීන් වහන්ස, ස්පර්‍ශය උපත කොට ඇත්තාහුය.”
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් රැස්කිරීම කොට ඇත්තාහුද?” “ස්වාමීන් වහන්ස, විඳීම රැස් කිරීම කොට ඇත්තාහුය.”
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?” “ස්වාමීන් වහන්ස, හිත එකඟකම (සමාධිය) මුල් කොට ඇත්තාහුය.”
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් නම් නායක කොට ඇත්තාහුද?” “ස්වාමීන් වහන්ස, සිහිය නායක කොට ඇත්තාහුය.”
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් වැදගත් කොට ඇත්තාහුද?” “ස්වාමීන් වහන්ස, (මාර්‍ග) ප්‍රඥාව වැදගත් කොට ඇත්තාහුය.”
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් සාරකොට ඇත්තාහුද?” “ස්වාමීන් වහන්ස, මිදීම සාරකොට ඇත්තාහුය.”
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමකට බැස ගැනීම කොට ඇත්තාහුද?” “ස්වාමීන් වහන්ස, නිවණට බැස ගැනීම් කොට ඇත්තාහුය.”
“සමිද්‍ධිය, පුරුෂයාගේ අදහස් උදහස් කුමක් අරමුණු කොට උපදිත්ද?” මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, සිත් හා රූප ගොදුර කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කොතැන්හි නොයෙක් ආකාර බවට යෙත්දැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, (ඇස්, කන් ආදී) ධාතූන් කෙරෙහිය” යි කීයෙහිය.
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් උපත කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, ස්පර්‍ශය උපත කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් රැස්කිරීම කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, විඳීම රැස් කිරීම කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?” මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, සමාධිය මුල් කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් නායක බැව් කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, සිහිය නායක කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් වැදගත් කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, ප්‍රඥාව වැදගත් කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් සාරකොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, මිදීම සාරකොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්‍ධිය, ඔවුහු වනාහි කුමක් බැස ගැනීම කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, නිවණට බැස ගැනීම් කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්‍ධිය, ඉතා මැනව. සමිද්‍ධිය, නුඹ ප්‍රශ්නය විචාරණ ලද්දේ විසඳුයෙහි මැනව. ඒ විසඳිම කරණකොට නහමක් සිතාවා.”
9. 1. 2. 5.
ගණ්ඩොපම සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, යම්සේ නොයෙක් වර්‍ෂ ගණන් ඇති, ගණ්ඩයක් (ගඩගෙඩියක්) වේද, එහි නොබිඳුණු නවමුඛ ඇති, වණමුඛ නවයක් වන්නාහුද, එයින් යම් කිසිවක් වැගිරෙන්නේ නම්, අසූචියක්ම වැගිරෙන්නේය. දුර්‍ගන්ධයක්ම වැගිරෙන්නේමය. පිළිකුල් කටයුත්තක් වැගිරෙන්නේමය. යම් කිසිවක් වෑස්සීම වන්නේ නම්, අසූචියක්ම වෑස්සෙන්නේය. දුර්‍ගන්ධයක්ම වෑස්සෙන්නේය. පිළිකුල් කටයුත්තක්ම වෑස්සෙන්නේය.