9. 1. 2. 2.
2. සඋපාදිසෙස සූත්‍රය
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවාගෙන පාත්‍ර සිවුරු රැගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙබඳු සිතක් විය: “සැවැත් නුවර පිඬු පිණිස හැසිරීමට තවම බොහෝ උදෑසනය. මම අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය කරා යන්නෙම් නම් ඉතා යෙහෙක” යි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය කරා වැඩම කළහ. වැඩම කොට ඒ අන්‍ය තීර්ථක පිරිවැජියන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ.
එකල්හි වනාහි එකට උන්නාවූ, එකට රැස්වූ, ඒ අන්යතීර්ත්ථක පිරිවැජියන් අතර මේ අතුරු කථාව පහළවිය. ‘ඇවැත්නි, යම් කිසිවෙක් සවුපාදිශෙෂව (කෙළෙස් ඉතිරි කොට) කළුරිය කෙරෙයිද, ඒ සියලුදෙන නරකයෙන් නොමිදුනහ. තිරිසන් යෝනියෙන් නොමිදුනහ. ප්‍රෙත විෂයයෙන් නොමිදුනහ. දුර්ගතිවූ, නපුරු සේ ඇදවැටෙන අපාය දුකින් නොමිදුනාහ’ කියායි.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ඒ අන්යතීර්ත්ථක පිරිවැජියන්ගේ කථාවට නොම සතුටුවූහ. (එය) නොම ප්රතික්ෂෙප කළ සේක. නොම සතුටුව, නොම ප්රතික්ෂෙප කොට, හුනස්නෙන් නැගිට, බුදුන් වහන්සේ ගේ සමිපයෙන් මේ භාෂිතයාගේ අර්ත්ථය දැනගන්නෙමැයි වැඩි සේක. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරී, පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක උන් සේක. එකත්පසෙක උන්නාවූ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළ සේක.
(එනම්) “ස්වාමීන් වහන්ස, මෙහිදී මම පෙරවරු කාලයෙහි හැඳ පොරවාගෙන, පාත්‍ර සිවුරු රැගෙන, සැවතට පිඬු පිණිස පිවිසියෙමි. ස්වාමීන් වහන්ස, ඒ මට මෙබඳු සිතක් පහළවිය. (එය නම්)’සැවතට පිඬු පිණිස යාමට තවම කල් වැඩිය. මම අන්‍ය තීර්ත්ථක (අන්යාගමිකවූ) පිරිවැජියන්ගේ අරමක් කරා පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ’ යි කියායි. ඉක්බිති ස්වාමීන් වහන්ස, මම අන්යතීර්ත්ථක පිරිවැජියකුගේ ආරම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියෙමි. පැමිණ, ඒ අන්‍ය තීර්ත්ථක පිරිවැජියන් සමග සතුටුවීමි. සතුටුවිය යුතු කථාද, සිහි කටයුතු කථාද, කොට නිමවා එක් පසෙක උන්නෙමි.
එකල්හි වනාහි එකට උන්නාවූ, එකට රැස්වූ, ඒ අන්යතීර්ත්ථක පිරිවැජියන් අතර මේ අතුරු කථාව පහළවිය. ‘ඇවැත්නි, යම් කිසිවෙක් සවුපාදිශෙෂව (කෙළෙස් ඉතිරි කොට) කළුරිය කෙරෙයිද, ඒ සියලුදෙන නරකයෙන් නොමිදුනහ. තිරිසන් යෝනියෙන් නොමිදුනහ. ප්‍රෙත විෂයයෙන් නොමිදුනහ. දුර්ගතිවූ, නපුරු සේ ඇදවැටෙන අපාය දුකින් නොමිදුනාහ’ කියායි. ඉක්බිති ස්වාමීන් වහන්ස, මම ඒ අන්යතීර්ත්ථක පරිව්‍රාජකයන්ගේ කථාවට නොම සතුටුවීමි. (එය) ප්රතික්ෂෙප (බැහැර) නොකෙළෙමි. සතුටු නොවී, ප්රතික්ෂෙප නොකොට, භාග්‍යවතුන් වහන්සේ සමිපයෙහිදී මේ භාෂිතයාගේ අර්ත්ථය දැනගන්නෙමියි හුනස්නෙන් නැගිට ගියෙමි.”
“ශාරීපුත්‍රය, බාලවූ, අව්‍යක්තවූ, අන්යතීර්ත්ථක පිරිවැජියෝ කවරහුද, ඒ කවරහු සවුපාදිශෙෂය හෝ සවුපාදිශෙෂය කියාද, අනුපාදිශෙෂය හෝ අනුපාදිශෙෂය කියාද දැන ගනිත්ද?
“ශාරීපුත්‍රය, මේ පුද්ගලයෝ නවදෙනෙක් සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය. ඒ නවදෙන කවරහුද?
1. “ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ ශීලයන් සම්පූර්ණ කරණ ස්වභාව වේද, සමාධිය සම්පූර්ණ කරණ ස්වභාව වේද, ප්‍රඥාව සම්පූර්ණ කරණ ස්වභාව නොවේද, ඒ පුද්ගල තෙමේ මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. ශාරීපුත්‍රය, මේ පළමුවෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
2-5. සාරිපුත්තය, නැවත ද අනිකක් කියමි: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලයෙහි සම්පූර්ණ කොට පිළිපදින්නේ වෙයි, සමාධියෙහි සම්පූර්ණ කොට පිළිපදින්නේ වෙයි, ප්‍රඥාවෙහි පමණට පිළිපදින්නේ වෙයි. හෙතෙම ඕරම්භාගිය (මෑත කොටසට අයත්) සංයෝජන පහ ක්ෂය වීමෙන් උපහච්චපරිනිබ්බායී වෙයි -පෙ- අසංඛාරපරිනිබ්බායී වෙයි -පෙ- සසංඛාරපරිනිබ්බායී වෙයි -පෙ- අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. සාරිපුත්තය, මේ උපාදාන ඉතිරි ඇතිව (සෝපාදිසේසව) කළුරිය කරන්නේ නිරයෙන් මිදුණු, තිරිසන් යෝනියෙන් මිදුණු, ප්‍රේත විෂයෙන් මිදුණු, අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණු පස්වන පුද්ගලයා ය.