9. 1. 1. 3.
මේඝිය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ චාලිකා නුවර චාලිකා පර්වතයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් මේඝිය භික්ෂුව භාග්යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. ඉක්බිති ආයුෂ්මත් මේඝිය භික්ෂුව භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේය: ‘ස්වාමිනි, මම ජන්තුගාමය පිඬු පිණිස පිවිසීමට කැමැත්තෙමි’. ‘මේඝිය, යමකට ඔබ කාලය යයි සිතන්නෙහි නම් එසේ කළ මැනව’.
ඉක්බිති ආයුෂ්මත් මේඝිය භික්ෂුව පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා, පාත්ර සිවුරු ගෙන ජන්තුගාමයට පිඬු පිණිස පිවිසියේය. ජන්තුගාමෙහි පිඬු පිණිස හැසිර, පස්වරු පිණ්ඩපාතයෙන් වැලකියේ, කිමිකාලා නම් ගං ඉවුර යම් තැනකද, එහි පැමිණියේය. ආයුෂ්මත් මේඝිය භික්ෂුව කිමිකාලා නම් ගංතෙර ජංඝාවිහාර පිණිස (පා ගමනින්) ඔබ මොබ ඇවිදින්නේ, ඉතා සිත්කලු අඹ උයනක් දැක්කේය. දැක ඔහුට මෙබඳු සිතක් උපන්නේය: ‘මේ අඹ උයන ඒකාන්තයෙන්ම ඉතා සිත්කලුය, රමණීයය. කෙලෙස් නැසීමට කරණ උත්සාහයෙන් ප්රයෝජනය ඇති කුලපුතෙකුට මේ අඹ උයන ඒකාන්තයෙන්ම යෝග්යය. ඉදින් භාග්යවතුන් වහන්සේ මට අනුදන්නා සේක් නම් මම මේ අඹ උයනට වීර්ය්යය වැඩීම පිණිස පැමිණෙන්නෙමි’.
ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙර භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය තෙර, භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේය: ‘ස්වාමීනි, මම මෙහි පෙරවරු කල සිවුරු හැඳ පොරවා, පාත්ර සිවුරු ගෙණ, ජන්තුගාමයට පිඬු පිණිස පිවිසියෙමි. ජන්තුගාමයේ පිඬු පිණිස හැසිර, පස්වරු පිණ්ඩපාතයෙන් වැළකියේ, කිමිකාලා නම් ගං ඉවුර යම් තැනකද, එහි පැමිණියෙමි’.
‘ස්වාමීනි, මම ඒ කිමිකාලා නම් ගං ඉවුර තෙර පා ගමනින් ඇවිදින විට, ඉතා සිත්කලු අඹ උයනක් දුටුයෙමි. දැක මට මෙබඳු සිතක් ඇතිවිය: “මේ අඹ උයන ඒකාන්තයෙන්ම පාසාදිකය, රමණීයය. පධාන වීර්යය වැඩීමට කැමති කුලපුතෙකුට ප්රධාන් වීර්යය වැඩීමට ඒකාන්තයෙන්ම සුදුසුය. ඉදින් භාග්යවතුන් වහන්සේ මට අනුදන්නා සේක් නම් මම මේ අඹ උයනට වීර්ය්යය වැඩීම පිණිස පැමිණෙන්නෙමි”. ස්වාමීනි, ඉදින් භාග්යවතුන් වහන්සේ මට අනුදන්නා සේක් නම් මම ඒ අඹ උයනට වීර්ය්යය වැඩීම පිණිස යන්නෙමි’.
‘මේඝිය, මඳක් බලාපොරොත්තු වෙව. අප තනිව සිටිමු. යම්තාක් අනික් භික්ෂුවක් හෝ පැමිණෙන තුරු (සිටිනු මැනව)’.
දෙවනුවද, ආයුෂ්මත් මේඝිය භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේය: ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේට මත්තෙහි කළ යුතු දෙයක් නැත. කළ දෙයක් පිළිබඳව සකස්කළ යුතු (ප්රත්යවේක්ෂා කළයුතු) දෙයක්ද නැත. ස්වාමීනි, මට නම් මත්තෙහි කළයුතු දෙයක් ඇත. කළ දෙය පිළිබඳව සකස් කළ යුතු තැන්ද ඇත. ඉදින් මට භාග්යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් වීර්ය්යය කිරීමට ඒ අඹ වනයට යන්නෙමි’.
‘මේඝිය, මඳක් බලාපොරොත්තු වෙව. අප තනිව සිටිමු. යම්තාක් අනික් භික්ෂුවක් හෝ පැමිණෙන තුරු (සිටිනු මැනව)’.
තුන්වෙනුවද, ආයුෂ්මත් මේඝිය භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේය: ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේට මත්තෙහි කළ යුතු දෙයක් නැත. කළ දෙයක් පිළිබඳව සකස්කළ යුතු දෙයක්ද නැත. ස්වාමීනි, මට නම් මත්තෙහි කළයුතු දෙයක් ඇත. කළ දෙය පිළිබඳව සකස් කළ යුතු තැන්ද ඇත. ඉදින් මට භාග්යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් වීර්ය්යය කිරීමට ඒ අඹ වනයට යන්නෙමි’.
‘මේඝිය, වීර්ය්යය කරමියි කියන්නහුට අපි කුමක් කියමුද? මේඝිය, යමකට ඔබ කාලය යයි සිතන්නෙහි නම් එසේ කළ මැනව’.
ඉක්බිති ආයුෂ්මත් මේඝිය භික්ෂුව හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ඒ අඹ වනය යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ඒ අඹ වනයට ඇතුල්ව එක්තරා රුකක් මුල දහවල් කාලය ගත කිරීමට හුන්නේය. ඉක්බිති ඒ අඹ වනයෙහි වාසය කරන්නාවූ ආයුෂ්මත් මේඝිය භික්ෂුවට බොහෝ සෙයින් ලාමක වූ අකුසල් විතර්ක තුනක් පහළ වෙයි. එනම්: කාම විතක්ක, ව්යාපාද විතක්ක, විහිංසා විතක්ක ය. ඉක්බිති ආයුෂ්මත් මේඝිය භික්ෂුවට මෙබඳු සිතක් විය: ‘බොල! ආශ්චර්ය්යයෙක, බොල! අද්භූතයෙක, මම ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමි. එහෙත් මම මේ ලාමක වූ අකුසල් විතර්ක තුනෙන් වෙළී සිටිමි. කාම විතර්කයෙන්, ව්යාපාද විතර්කයෙන්, විහිංසා විතර්කයෙන්’.