9. 1. 1. 4.
නන්දක සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අසල, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වැඩ වසති. එකල්හි ආයුෂ්මත් නන්දක තෙර, උපට්ඨාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වයි. දැහැමි කථාවට සමාදන් කරවයි. දැහැමි කථාවෙන් සිත තියුණු කරවයි. දැහැමි කථාවෙන් සිත සතුටු කරවයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගිට, උපට්ඨාන ශාලාවට පැමිණියහ. ඒ උපට්ඨාන ශාලාවට පැමිණ, නන්දක තෙරුන්ගේ කථා අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිට සිටියහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ නන්දක තෙරුන්ගේ කථාව අවසන්වූ බව දැන, උකැස (කාරා) යතුර තියෙන තැනට තට්ටු කළහ. එකල භික්ෂූහු භාග්යවතුන් වහන්සේට දොර හළහ. එකල භාග්යවතුන් වහන්සේ රැස්වීම් ශාලාවට පැමිණ, පනවන ලද අසුන්හි වැඩ හුන්හ. භාග්යවතුන් වහන්සේ වැඩ හිඳ, ආයුෂ්මත් නන්දක තෙරුන්ට මෙසේ කීහ: “නන්දකය, භික්ෂූන්ට කළ ඔබගේ දැහැමි කථාව දිගය. ඒ කථාවේ අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිටත සිටි මාගේ පිටේ රුදාව සෑදුනේය.”
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් නන්දක තෙර ඉතා කණගාටු ස්වභාවයට පැමිණ භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, අපි භාග්යවතුන් වහන්සේ දොරටුවෙන් පිට සිටින බවක් නොදන්නෙමු. ඉදින් අපි භාග්යවතුන් වහන්සේ දොරටුවෙන් පිට සිටින බවක් දන්නෙමු නම් එතරම් කථාව දික් නොකරන්නෙමු.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ නන්දක තෙර කණගාටුවට පැමිණි බව දැන, ආයුෂ්මත් නන්දක තෙරුන්ට මේ කාරණය කීහ. “නන්දකය, සාධු, සාධු, ඔබ වැනි අය දැහැමි කථාවකින් යුක්තව හින්නහුද? සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූ ඔබ වැනි කුල පුතුන්ට මෙය ඉතාම සුදුසුය. නන්දකය, රැස්වූවන් විසින් දෙකක් කළ යුතුය. එනම්, දැහැමි කථාව හෝ උතුම් නිශ්ශබ්ද බවයි.
නන්දකය, භික්ෂුවක් සැදැහැ ඇත්තෙක්ව සිල්වත් නොවෙයිද, එසේ ඔහු ඒ කරුණෙන් සම්පූර්ණ නොවූවෙක් වෙයි. ඔහු විසින්, ‘මම සැදැහැවතෙක් සහ සිල්වතෙක් වූයෙම්දැ’ යි කියා ඒ කරුණ සම්පූර්ණ කළ යුතුය. නන්දකය, යම් හෙයකින් ඒ භික්ෂුව සැදැහැවතෙක් සහ සිල්වතෙක් වූයේද, එසේ ඒ භික්ෂුව සැදැහැවතෙක් සහ සිල්වතෙක් වූයේ වෙයිද, ඒ භික්ෂුව ඒ කරුණෙන් සම්පූර්ණ වූයෙක් වෙයි.
නන්දකය, යම් හෙයකින් භික්ෂුවක් සැදැහැවතෙක් සහ සිල්වතෙක්වද, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් නොවේද, මෙසේ ඔහු ඒ කරුණෙන් සම්පූර්ණ නොවූයෙක් වෙයි. ඒ භික්ෂුව විසින් ‘කිම මම සැදැහැවතෙක් හා සිල්වතෙක් වීමි. සිත පිළිබඳ සිත කෙලෙස්වලින් සංසිඳවීම් ලැබීම ඇත්තෙක් නොවූයෙමි’ යි ඒ කරුණ සම්පූර්ණ කළ යුතුය. නන්දකය, භික්ෂුවක් සැදැහැවතෙක් සහ සිල්වතෙක්ව සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් වෙයිද, ඔහු මෙසේ ඒ කරුණෙන් සම්පූර්ණ වූයෙක් වෙයි. නන්දකය, භික්ෂුවක් සැදැහැවතෙක්ව, සිල්වතෙක්ව, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක්ව, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවගේ (මග ඵල දහමකගේ) ලැබිම ඇත්තෙක් නොවෙයිද, මෙසේ ඒ භික්ෂුව ඒ කරුණෙන් සම්පූර්ණ නොවූයෙක් වෙයි.