9. 1. 1. 2.
නිස්සයසම්පන්න සූත්රය
[සැවැත් නිදානයයි]
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක හුන් ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ පැවසුවේය: ‘ස්වාමීනි, නිස්සය සම්පන්නය, නිස්සය සම්පන්නයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් භික්ෂුව නිස්සය සම්පන්නයෙක් වේද?’
භික්ෂුවෙනි, ශ්රද්ධාව නිසා අකුසලය දුරු කරයි නම්, කුසලය වඩයි නම්, ඔහුට ඒ අකුසලය දුරුවූවක්ම වෙයි.
භික්ෂුව හිරිය (ලජ්ජාව) නිසා ...පෙ... ඔත්තප්පය (පවට බිය) නිසා ...පෙ... වීර්ය්යය නිසා ...පෙ... ප්රඥාව නිසා අකුසලය දුරු කරයි නම්, කුසලය වඩයි නම්, ඔහුට ඒ අකුසලය දුරුවූවක්ම වෙයි. ඒ භික්ෂුවගේ ඒ අකුසලය ප්රහීන වෙයි, මනාව ප්රහීන වෙයි, යමක් ආර්ය ප්රඥාවෙන් දැක ප්රහීන වීද.
තවද භික්ෂුවෙනි, ඒ භික්ෂුව විසින් මේ පස් ආකාර ධර්මයන්හි පිහිටා ධර්ම සතරක් ඇසුරුකොට වාසය කළ යුතුයි. කවර සතරක්ද? මේ ශාසනයෙහි භික්ෂුව එකක් නුවණින් සලකා සේවනය කරයි. එකක් නුවණින් සලකා ඉවසයි. එකක් නුවණින් සලකා පරිවර්ජනය කරයි (දුරු කරයි). එකක් නුවණින් සලකා විනෝදනය කරයි (බැහැර කරයි). භික්ෂුවෙනි, මෙසේ ඇති කල්හි භික්ෂුව නිස්සය සම්පන්නයයි කියනු ලැබේ.
9. 1. 1. 3.
මේඝිය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ චාලිකා නුවර චාලිකා පර්වතයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් මේඝිය භික්ෂුව භාග්යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. ඉක්බිති ආයුෂ්මත් මේඝිය භික්ෂුව භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේය: ‘ස්වාමිනි, මම ජන්තුගාමය පිඬු පිණිස පිවිසීමට කැමැත්තෙමි’. ‘මේඝිය, යමකට ඔබ කාලය යයි සිතන්නෙහි නම් එසේ කළ මැනව’.
ඉක්බිති ආයුෂ්මත් මේඝිය භික්ෂුව පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා, පාත්ර සිවුරු ගෙන ජන්තුගාමයට පිඬු පිණිස පිවිසියේය. ජන්තුගාමෙහි පිඬු පිණිස හැසිර, පස්වරු පිණ්ඩපාතයෙන් වැලකියේ, කිමිකාලා නම් ගං ඉවුර යම් තැනකද, එහි පැමිණියේය. ආයුෂ්මත් මේඝිය භික්ෂුව කිමිකාලා නම් ගංතෙර ජංඝාවිහාර පිණිස (පා ගමනින්) ඔබ මොබ ඇවිදින්නේ, ඉතා සිත්කලු අඹ උයනක් දැක්කේය. දැක ඔහුට මෙබඳු සිතක් උපන්නේය: ‘මේ අඹ උයන ඒකාන්තයෙන්ම ඉතා සිත්කලුය, රමණීයය. කෙලෙස් නැසීමට කරණ උත්සාහයෙන් ප්රයෝජනය ඇති කුලපුතෙකුට මේ අඹ උයන ඒකාන්තයෙන්ම යෝග්යය. ඉදින් භාග්යවතුන් වහන්සේ මට අනුදන්නා සේක් නම් මම මේ අඹ උයනට වීර්ය්යය වැඩීම පිණිස පැමිණෙන්නෙමි’.
ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙර භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය තෙර, භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේය: ‘ස්වාමීනි, මම මෙහි පෙරවරු කල සිවුරු හැඳ පොරවා, පාත්ර සිවුරු ගෙණ, ජන්තුගාමයට පිඬු පිණිස පිවිසියෙමි. ජන්තුගාමයේ පිඬු පිණිස හැසිර, පස්වරු පිණ්ඩපාතයෙන් වැළකියේ, කිමිකාලා නම් ගං ඉවුර යම් තැනකද, එහි පැමිණියෙමි’.