8. 2. 8. 9.
සෙඛපරිහානි සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට පිරිහීම පිණිස පවතී. කවර අටක්ද යත්:
කටයුතුවල ඇලී සිටීමය, කථාවෙහි ඇලී සිටීමය, නින්දෙහි ඇලී සිටීමය, කාණ්ඩ ගැසීමෙහි ඇලී සිටීමය, ඉඳුරන්හි දොර නොරක්නා ලද බවය, අහරෙහි පමණ නොදන්නා බවය, සම්බන්‍ධයන්හි ඇලී සිටීමය, පමාවෙහි ඇලී සිටීමය. මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට පිරිහීම පිණිස පවතී.
මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට නොපිරිහීම පිණිස පවතී. කවර අටක්ද යත්:
කටයුතුවල ඇලී නොසිටීමය, කථාවෙහි ඇලී නොසිටීමය, නින්දෙහි ඇලී නොසිටීමය, කාණ්ඩ ගැසීමෙහි ඇලී නොසිටීමය, ඉඳුරන්හි රක්නා ලද දොර ඇති බවය, අහරෙහි පමණ දන්නා බවය, සම්බන්‍ධයන්හි නොඇලීමය, ප්‍රමාදයෙහි නොඇලීමය. මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට නොපිරිහීම පිණිස පවතී.
8. 2. 8. 10.
කුසීතවත්‍ථු සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
මහණෙනි, මේ කුසීත වස්තූහු (කම්මැලිකමට කරුණු) අටෙකි. කවර අටක්ද යත්:
1. මහණෙනි, මෙහි භික්‍ෂුව විසින් කටයුත්තක් කළ යුතු වේද, ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මා විසින් කටයුත්තක් කළ යුතු වන්නේය’ කියාය. ‘කටයුත්ත කරන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය පළමුවන කුසීත වස්තුවය.
2. මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් කටයුත්ත කරණ ලද්දේ වේද, ඔහුට මේ සිත වෙයි. ‘මම වනාහි කළයුත්ත කෙළෙමි. කටයුත්ත කරණ මගේ කය වෙහෙසවිය. අනේ මම දැන් හාන්සි වෙමි,’ (කියාය.) හේ හාන්සි වෙයි. වීර්‍ය්‍යය පටන් නොගනී. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනී. මහණෙනි, මෙය දෙවන කුසීත වස්තුවය.
3. මහණෙනි, නැවතද භික්‍ෂුව විසින් මග යා යුතු වෙයි. ඔහුට මේ සිත වෙයි. ‘මා විසින් මග යා යුතු වන්නේය,’ (කියාය.) මග යන මාගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය තුන්වන කුසීත වස්තුවය.
4. මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග යන ලද්දේය. ඔහුට මේ සිත වෙයි. මම මග ගියෙමි. මග යන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සතරවන කුසීත වස්තුවයි.